අරමුණු මත ඇවිදීම

බොහෝ දිනවල කළුවර වැටෙන වෙලාවට කෝපි එකක් බොන්නට යන විට මට ලස්සනට විදුලි එළි දැල්වෙන විහාර මහා දේවි උයන පෙනෙනවා. එය පුංචි කාලේ අප දුටු අපිළිවෙල, තැනින් තැන තනකොළ ගැලවුණු, ලස්සනක් නැති විහාර මහා දේවි උයන නෙවෙයි. ලස්සනට තණකොළ වැඩුණු, හොඳින් පවත්වා ගෙන යන, ඇසට ප්‍රියමනාප, පිරිසිදු උයනක්. මගේ මේ සිතුවිලි ධාරාව බොහෝ විට නතර වෙන්නේ මීට ටික කලකට ඉස්සර කොතැනකදී හෝ කියවූ රුවන් බන්දුජීවගේ කවියකින්.
"උයනක් කියන්නේ මේකද
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බලෙන් ළං කළ එකටද?
උයනක් කියන්නේ මේකද
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?
උයනක් කියන්නේ මේකද
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?
උයනක් කියන්නේ මේකද
චුම්බන කුදලගෙන යන්නට
කාකි විහඟුන් ඉන්න එකටද?
උයනක් කියන්නේ මේකද
දෙතොල් උල්කර ඉහළට
වැරෙන් දුම් ගුලියක් විදින්නට
අහස ඇහිරූ එකටද?
උයනක් කියන්නේ මේකද? "
එය විදුලියක් කොටනවා බඳු කවියක්. විහාර මහා දේවි උයනේ දකින බොහෝ මිනිසුන් පිටුපස ඇත්තටම පෙනෙන්නේ අරමුණු විතරයි. මිනිස්සු ඇවිදින්නෙ දුවන්නෙ බයිසිකල් පදින්නෙ ව්‍යායාමයට. ඒ කොලෙස්ටරෝල් හෝ මේදය හෝ තමන් පසුපස පන්නන නිසා.. එසේ නොවන ඇතැමෙක් පෙම්වතා හෝ පෙම්වතිය සමග කාලය ගත කරන්න ඕනැ නිසා උයනට යනවා. එහෙමත් නැත්තන් කිසියම් වැඩක යෙදෙන්නට තවත් කල්වේලා ඇති නිසා කාලය මරන්නට උයනක බංකුවක් මතට වී වාඩි වී සිටිනවා.


මේ සෑම තැනකම තියෙන්නේ අරමුණු. උයන් හදන්න ඕනැ අරමුණු නැති මිනිස්සුන්ට. කුමක් කරන්නේද කොහේට යන්නේදැයි දන්නේ නැති මිනිස්සුන්ට... ජීවිතය යනුවෙන් අප හඳුනා ගන්න තේරුමක් නැති අරගලයෙන් මොහොතකට හෝ ඈත් වුණු මිනිස්සුන්ට... දුම් උගුරක් මෙන් ජීවිතය අහසට මුදා හරින්න පුළුවන් මිනිස්සුන්ට.. එහෙම මුදා හරින්න හිස් අවකාශයක් හොයන මිනිස්සුන්ට.
අරමුණු මනසින් ඉවත් කළ මොහොතේම ජීවිතය මෙන්ම ආදරයත් අපට මුණ ගැහෙනවා. අරමුණු නැතුව ඇවිදින්න, අරමුණු නැතිව ආදරය කරන්න ශක්තිය ලැබෙනවා. කවදා හරි විවාහ වන, දරුවන් හදන, එකට ජීවත් වන අරමුණ නැතිව ආදරය මත පමණක් පදනම්ව ගොඩනැගෙන සම්බන්ධකම් මොන තරම් ලස්සනද? ජීවිතයේ ඉතාම ලස්සන වර්ණයන් උපදින්නේ එතැනයි.
අරමුණු වලින් මිදෙන්නට මිනිසුන්ට තියන ලොකුම බාධාව අරමුණු නැති ජීවිතයක් ගැන අපට ඇති අනියත බියයි. අරමුණු නැති ජීවිතයක හැඩය අපට හිතාගන්නට අමාරුයි. මේ නිසා හැමදාම එක අරමුණකින් තවත් අරමුණකට මාරු වෙනවා මිස අරමුණු වල සිට ජීවිතයේ සැබෑ මුහුණුවර වෙත මාරු වීමක් ගැන අප සිතන්නේ නැහැ. අවසානයේ සිදු වෙන්නේ ජීවිතය අතහැරී අරමුණු අතර අතරමං වීම පමණයි. එය මහා වියවුලක්.
ජීවිතය යනු එක් තැනකින් අරඹා තවත් තැනක් හරහා ගමන් කොට කිසියම් නිශ්චිත මොහොතක නිශ්චිත ලක්ෂයකට පැමිණිය යුතු ගමනක් යැයි අප විශ්වාස කරනවා. මේ මොහොතේ මේ අරමුණ සපුරා ගත්තොත් ඒ නිශ්චිත ලක්ෂයකට එක පියවරකින් හෝ ළං වෙන බව අප දැඩිව විශ්වාස කරනවා. එහෙම නිශ්චිත මොහොතක්වත්, එහෙම නිශ්චිත ලක්ෂයක්වත් සැබෑවටම ජීවිතයේ නැහැ. ජීවිතය හරියටම හිස් සිතියමක යන ගමනක් වගේ. ඒ සිතියම ඇතුළේ දේශසීමාවත්, අක්ෂාංශ, දේශාංශවත් නැහැ. ගමනක් පමණයි තියෙන්නේ..
මහගමසේකරගේ ප්‍රබුද්ධ පොත අවසන් වන්නේ 'නැවතීමමය ගමන" කියන වචන පේළියෙන්.. මොන තේරුමෙන් ඔහු ඒ වචන දෙක යෙදුවත් එය ජීවිතයට බලපාන සර්වකාලීන යථාර්ථයක්. ඔබ නවතින්නේ කොතැනින්ද එතැන සිට ඔබ ජීවිතය පටන් ගන්නවා.

Comments