සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය

"ජීවිතය ගීතයක් වේවා" යැයි බොහෝ අය ලියන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැහැ..ජීවිතය කොහොමටත් ගීතයක් තමයි. විවිධ නාද රටා, රිද්ම, ස්වර සංකලනයන්, උස් පහත්වීම් අතරින් ඇදී ගොස් අවසානයේ ඇසෙන නෑසෙන ස්වරයක් බවට පත් වන විට ගීතය ජීවිතයට බොහෝ සෙයින් සමානයි.

මා ඇතැම් විටක කවි ලියන්නට උත්සාහ කළත්, කවියට වඩා ගීතය මගේ ජීවිතයට සමීප යැයි සිතුණු වාර අනන්තයි. ගීතයක වචනවලට කවියක් තරමටම හදවතේ ගැඹුරු හැඟීම් ස්පර්ශ කරන්නට බැරි යැයි කෙනෙකුට කියන්න පුළුවන්. එහෙත් අරුත්බර වචන වලට ස්වර හා ගායන මාධුර්යය එක් වුණු විට කවිය නොයන මංපෙත් දිගේ පවා ඇතැම් ගී ඇදී යන බව පැහැදිලි සත්‍යයක්. 

රටකින් රටකට, ජන සමාජයකින් ජන සමාජයකට ගීතයේ භාව ප්‍රකාශනය වෙනස් වෙනව.. නිදසුනක් විදියට සිංහල, ඉංග්‍රීසි සහ හින්දි භාෂා තුනෙන් ලියැවුණු ප්‍රේම ගීත තුනක ගේය පද සංසදනය කළොත්, එම ගේය පද වල භාව ප්‍රකාශනය අතිශයින් වෙනස් බව තේරුම් ගත හැකියි. ගීතයක රස භාවයන් මුළුමනින්ම විඳ ගන්නට නම් එම ගීතයේ සමාජ සහ සංස්කෘතික මූලයන් විහිදුණ තැන් සියුම්ව ස්පර්ශ කරන්නට හැකියාව තිබිය යුතුයි. උදාහරණයක් පැවසුවොත් ලෝකයේ වෙනත් කිසිම රටක උපන් කිසිදු මිනිසෙකුට වික්ටර්ගේ 'රූකඩ මඩු යාග පොළේ' වැනි ගීතයක ඇති සෞන්දර්යය මුළුමනින්ම උකහා ගන්නට බැහැ. මේ නිසා ගීතය යනු විශ්ව භාෂාවක් නෙවෙයි. ගීතය වටා බෙහෙවින් සවිමත් සමාජ සහ සංස්කෘතික පවුරු පදනම් පවතිනවා.

ලංකාවේ උපන් මිනිසෙකුටත් අයිස්ලන්තයේ උපන් මිනිසෙකුටත් ප්‍රේමය නමැති අත්දැකීම පොදුයි. නමුත් එම පොදු අත්දැකීම ඒ මිනිසුන් දෙදෙනා විඳින්නේ දෙයාකාරයකටයි. ඔවුන්ගේ සිතැඟි, විඳීම්, භාව ප්‍රකාශනය, සංවේදනා එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.ඔවුන් දෙදෙනා අතින් එකම නිශ්චිත මොහොතක පෙම් ගී දෙකක් ලියවුණොත්, ඒ ගී වල වචන ඔස්සේ මේ වෙනස ඉතාම පැහැදිලිව තේරුම් ගත හැකියි.

ඉකුත් දින කිහිපයේ මගේ කාලය වැඩිපුරම ගත වුණේ රමණීය ප්‍රේම ගීත සමුච්චියක් සමගයි. ජීවිතයේ පෙති එකි නෙක ගිලිහී බිම වැටෙන බව දනෙන සෑම මොහොතකම මගේ හදවත නතර වන්නේ එතනයි. ගීතයක රස භාව ඔස්සේ ජීවිතයේ මග හැරී ගිය මං සළකුණු සොයා යාම මා නිරන්තරයෙන්ම ප්‍රිය කරන දෙයක්.සැරිසරන දෙපයක් සේ ඇවිද ගිය මගේ හිත බොහෝ වර නතර වුණේ වික්ටර් ගැයූ ගීත කිහිපයක රස උල්පත් කිහිපයක් අසළයි. 

එයින් එකක් වූයේ ඔහුගේ 'මුතු වරුසාවට තෙමිලා' ගීතයේ අන්තරා කොටසේ එන පද පේළි කිහිපයකුයි. 

"එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙණිය
බමරු සොයනවලු මීවද වල පැණිය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය.."

"පායන සඳ ගැන" ගීතයේ වචනත් ඉකුත් දින කිහිපයේ මගේ මනසේ රැව් දුන්නා.එහි පදනම වන්නේ හදවත සිපිරිගත කරවන අප්‍රකාශිත ආදරයක් 

"පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නෙ නෑ
එයද ආදරය වාගේ.."

ඒ සමගම වික්ටර්ගේම 'මම තරහා නෑ' ගීතයේ ගේය පද රචනයත් ඉකුත් දින කිහිපය තුළ එකදු මොහොතකටවත් මගේ මනස හැර ගියේ නැහැ.. 

"මම තරහා නෑ...

ප්‍රේම පත්‍ර බොළඳ වචන
කුළු ගැන්වුණ ආදරයක්
සිටු මැදුරේ විසූ ඔබට 
මගේ පැළේ ඉඩ මදිනම්
කුමාරයෙක් අත ගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇති වෙනවා
ඒ වුණාට නෑ කමක් නෑ ..
මම තරහා නෑ.."

ගීතයක ඇති රමණීයත්වයත් සම් මස් ඇට නහර විනිවිද ඇටමිදුළු දක්වා ගමන් කරන බව මා අත්දැකීමෙන් දන්නා සත්‍යයක්.. මහමෙරක බරත් සුළඟේ පා වෙන වරා මලක සැහැල්ලුවක් එකම වචන පෙළක එකට කැටිකරන්නේ කොහොමදැයි යන ප්‍රශ්නය මේ ගීත අසන විට මා මගෙන්ම විමසා සිටියා.. කොහොම වුණත් මේ ජීවිතයට මා ස්තුතිවන්ත වන කාරණා දෙකක් තිබෙනවා.. ඒ, මෙතරම් සුමට අන්දමට ප්‍රේමණීය හැඟීම් කැටයම් කළ හැකි බසක් ඇති රටක ඉපිද එම නිර්මාණ හදවතින් ඉතා සියුම්ව ස්පර්ශ කරන්නට අවකාශය ලබා දීම නිසයි... එමෙන්ම, එබඳු ප්‍රේමණීය හැඟීම් දහරක් වෙනුවෙන් හෙළන්නට පුංචි කඳුළු බිඳුවක් මගේ දෙනෙත්වල ඉතිරි කළ නිසයි


*                              *                              *
( රසික ජයකොඩි  31.08.2013 )

Comments