මෙයට අවුරුදු කිහිපයකට කලින් මා ඉරිදා පුවත්පතක කවි පිටුවක් සංස්කරණය කළා.
ඇතැම් වෙලාවට එම කවි පිටුවට ලැබෙන කවි මා කියවන්නේ මහා රාත්‍රියේ. නිශ්චල රාත්‍රියක මිනිසුන්ගෙන් හිස්ව ගිය පුවත්පත් කාර්යාලයක හුදෙකලාව වාඩි වී නන්නාඳුනන මිනිසුන් ඈතක සිට ලියූ කවි කියවන විට මහා ආස්වාදයක් සිතට දැනුණා.
පිටු සියයකට ආසන්න ගණනක් තිබෙන පත්තරයක කවි පිටුවකට හිමි වන්නේ බෙහෙවින් අඩු වටිනාකමක් වෙන්නට පුළුවන්. ඒ යථාර්ථයට ඕනෑම අයෙකු මුහුණ දිය යුතුයි. එහෙත් කවි පිටුවක් කරන්නට ලැබීම ඕනෑම පත්තරකාරයෙකුට තමන්ගේ වෘත්තීය ජීවිතයේ ලැබෙන බෙහෙවින් ආශ්වාදනීය රාජකාරියක් බව මා සිතනවා. ලෝකයේ බොහෝ දෙනා සිය වෘත්තීය ජීවිතය තුළ විඳින්නට සිදුවන අධික පීඩනයෙන් මොහොතකට මිදෙන්නට කවි කියවා රස විඳිද්දී, තවත් කෙනෙකුට තමන්ගේ රස්සාවේ කොටසක් ලෙස කවි රස විඳින්නට ලැබීම මහා භාග්‍යයයක් නොවෙයිද?
සීමිත ඉඩක පළ කළ හැකි කවි ගණන සීමාසහිත නිසා මා වෙත ලැබුණු බොහෝ කවි අච්චු අකුරු බවට පෙරළුණේ නැහැ. පත්තරයේ පළ කරන්නට ඉඩ නොලැබුණත් මා කියවා රස විඳි ඇතැම් කවි වෙනමම ලිපි ගොනුවක දමා මා ආරක්ෂා කළා. සතියෙන් සතිය මේ ලිපිගොනුව විශාල වුණත් ඒ තුළ සුරැකිව තිබුණු කවි වීසි කර දමන්නට මට සිත දුන්නේ නැහැ. මා එම පුවත්පත් කාර්යාලයෙන් සමුගෙන සෑහෙන කලක් ගත වුණු පසුවත් මේ ඇතැම් කවි මා ළඟ තිබුණු බව මතකයි.
ලෝකයේ කොතැනක හෝ වෙසෙන කවි ලියන මිනිසුන්ට හා ගැහැණුන්ට මා අසීමිතව ආදරය කරනවා. කවිය යනු හදවතේ භාෂාවයි. හදවතේ භාෂාවේ අකුරු ලෙස සැලකිය හැක්කේ හැඟීම්.. කවියක වචන, පේළි සහ හිස්තැන් අතරට තමන්ගේ ජීවිතයේ අත්දැකීම් හා සංවේදනා හැඟීම් බවට පෙරළා ගළපන්නට තැත් කරන්නේ හදවතේ තෙතමනයක් සහිත මිනිසුන් බව මගේ විශ්වාසයයි.එවන් තෙතමනයක් ජීවිතයට අවශ්‍යයි. එසේ නොමැති කල ජීවිතය වියළී ගිය කාන්තාරයක් බවට පත් වෙනවා.
බටහිර විචාරකයෙකු උපුටා දක්වමින් ගුණදාස අමරසේකර වරක් ලීවේ කවිය කියවා රස විඳිය යුත්තේ අඩ නිදිගත් සිතින් බවයි. එහි කිසියම් ඇත්තක් ඇති බව මා හිතනවා. කවියක් කියැවීම මෙන්ම කවියක් ලිවීමත් අඩ නිදිගත් මනසකින් යුතුව සිදුවන්නක් යැයි විටෙක මට සිතෙනවා. අඩ නිදිගත් මනෝභාවයක් තුළදී අප සිතිවිලි වලට නිදහසේ ගලන්නට ඉඩ දෙනවා. එම නිදහස කවියට මෙන්ම ජීවිතයටත් අවශ්‍යයි.
අදටත් ඇතැම් දිනෙක කොළඹ නගරයේ මහා මාර්ග තදබදයක සිරවී සිටින වෙලාවක මා වටා නතරව සිටින නා නා ප්‍රකාර මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ජීවිතවල කොයි තරම් නම් ජීවන අත්දැකීම් සැඟවී ඇති දැයි මට සිතෙනවා. හදවතේ කිසිදා විවර නොකළ දොරගුලු කඩා බිඳ දමා ඒ සෑම ජීවන අත්දැකීමක්ම කවියක් බවට පෙරළන්නට ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා නම් එය කෙතරම් ආශිර්වාදයක්ද ? එහෙත් ඇත්තටම එලෙස සිදු නොවන්නේ ඇයි?
මා සිතන විදියට හදවතේ දොරටු විවර කොට සිතුවිලි වලට වාන් දමන්නට ඉඩ දෙන්නට බොහෝ මිනිසුන් බයයි.. ඒ බිය තම සිතිවිලි විසින් තමන් කොයි අතට මෙහෙයවෙනු ඇතිදැයි නොදැනීම නිසා ඇති වන අනියත චකිතයක් යැයි මා විශ්වාස කරනවා.. ඒ චකිතය ජය ගන්නට පුළුවන්වුණු මොහොතට ඕනම මිනිසෙකු තුළින් කවියෙකු උපදෙන්නට පුළුවන් බව මා තරයේ අදහන දෙයක්. මිනිසෙකු ජීවිතය තුළ ලබන මහත් වාසනාවක් වන්නේ තම සිත තුළ සිරකරුවෙකු ලෙස ජීවත් වන කවියා විලංගු ලිහා නිදහස් කරන මොහොතයි.
එදා නොයෙක් නම් කවි වලින් කවි ලියූ, මා නමින් පමණක් දැන සිටි බොහෝ දෙනෙකු අද කොහේ සිටිනවා ඇතිද, කුමක් කරනවා ඇතිදැයි මා දන්නේ නැහැ. එහෙත් ජීවිතයේ කුමන මාවතක ඇවිද ගියත් අදටත් ඔවුන්ගේ අතින් කවි ලියැවෙනවා ඇතැයි මා විශ්වාස කරනවා. ඉඳහිට දිනෙක පුවත්පතක කවි පිටුවක් පෙරළා බලන විට ඒ සමහරුන්ගේ නම් මා අදටත් දකිනවා. එවිට මට හැඟෙන්නේ බොහෝ කලකින් මුණ නොගැසුණු හිතවතෙකු පාරක තොටක හදිසියේම නෙත ගැටුණා වැනි හැඟීමක්.
මා එවිට ඔවුන්ටත් නොපෙනෙන ලෙස අත වනා සිනහසෙනවා...
* * *
( රසික ජයකොඩි 02-11-2013 )
Comments
Post a Comment