වැලන්ටයින් සමීකරණය

චිත්‍රාල් සෝමපාල ගයන අලුත් ගීතයක එන එක්තරා වචන පේළියක ජීවිතය පිළිබඳ බලගතු යථාර්ථයක් සැඟවිලා තියෙනවා යැයි මට සිතුණා.
දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයේහි
මා කිරුළ දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරාගත්තා
දමනය වීම සහ හික්මීම බොහෝ මැද පාංතික මිනිසුන් සහ ගැහැණුන් තමන්ගේ ජීවිත තුළ වරදවා වටහා ගන්නා දෙයක් බව මා විශ්වාස කරනවා. තමන් මත තමන්ම දමා ගන්න සීමාවන්ට නතුවී ඒ ඇතුළත අතෘප්ති සහගත, අප්‍රසන්න ජීවිතයක් ගත කිරීම නෙවෙයි 'දමනය' කියන්නේ. එය සීමා වීමයි.. සම්ප්‍රදාය ඇතුළේ, සංස්කෘතිය වගේම සදාචාර වටිනාකම් යැයි සමාජය විශ්වාස කරන දේ ඇතුළෙත් මිනිසුන් තමන්වම සීමා කරගන්නවා. එය හොඳ දෙයක්ද, නරක දෙයක්දැයි තර්ක කරන්න මට අවශ්‍ය නෑ.
දමනය වීම සහ හික්මීම සැබෑවටම පැමිණිය යුත්තේ සන්සිඳීමත් සමගයි. එය තමන් වටා ඇති සියලුම සීමාවන් බිඳ දැමූ පසු දැනෙන අසීමිත නිදහසත් සමග දැනෙන හැඟීමක්. සන්සීඳීම තුළ සංතෘප්තිය තිබෙනවා.. ජීවිතය තිබෙනවා. අවකාශය තිබෙනවා. නිදසුනක් නිසා ආදරය නිසා දමනය වෙන්නේ ආදරයෙන් සංතෘප්ත වුණු මිනිසෙක්.. ආදරය නිසා හික්මෙන්නෙ ආදරයෙන් පිරුණු මිනිසෙක්..මේ 'සමීකරණය' ලංකාව වගේ රටක හුඟ දෙනෙකුට තේරුම් ගන්න අපහසුයි.
අපේ වගේ රටවල ආදරය නියම් - අනියම්, සම්මත - අසම්මත, රාගික- විරාගික, කායික- ප්ලැටෝනික වැනි නොයෙක් බෙදුම් රේඛ්හා වලින් බෙදලයි තියෙන්නේ. මේ බෙදුම් රේඛාවන්ගෙන් සීමා නොවී කෙනෙකු ආදරය තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. හරි හෝ වැරදි, පිළිගත හැකි හෝ නොහැකි සබඳතා මිස හරි වැරැද්දේ සීමාවන්ගෙන් ඔබ්බට ගිය, නො එසේ නම් හරි වැරැද්ද තව දුරටත් මිනුමක් කරගන්න බැඳීම් ජීවිත වල දකින්න ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙන්. මේ නිසා අපේ ජීවිතවල වැඩි කාලයක් ගත වන්නේ අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්න මිස තමන්ගේ ජීවිත ඇතුළට එබී බලා එහි සුන්දරත්වය විඳින්න නෙවෙයි.
"හෙට එළි වෙනකොට ලෝකේ එක ගැහැණියකට එක පිරිමියෙක් අයිතියි කියන සම්මතය නැති වෙලා ලොකේ අලුතින් බිහිවුණොත් මොනව වෙයිද?'පහුගිය දවසක මා දන්නා හඳුනන කෙනෙකුගෙන් නිකමට මෙන් එසේ විමසුවා.
"එහෙම නම් දැනට වඩා හුඟක් ලස්සන චිත්‍රපටි බිහිවෙයි. කවි ලියවෙයි. කතා ලියවෙයි.. එහෙම නැත්තන් ඒකේ අනිත් පැත්තම වෙයි. ආදරය, ප්‍රේමය ගැන කිසිම දෙයක් ලියැවෙන එකක්වත්, නිර්මාණය වෙන එකක්වත් නැහැ. අසම්මතය ආට් එකක් වෙන්නේ සම්මතය 'නෝම්' ( norm) එකක් වන හින්දා . ඒ සම්බන්ධය කඩන්නවත් නැති කරන්නවත් බැහැ.. ලෝකය පවතිනකල් ඔය ගැටුමත් ඔහොමම පවතිනවා" ඔහු එහෙම කිව්වා..
ඔහු කී දේ ඇත්ත.. මිනිසුන් සමූහයක් එකට ජීවත් වන අවකාශයක සම්මත ඇති වීම වළක්වන්න බැහැ. සම්මත ඇති වීම වළක්වන්න බැරි දෙයක් නම් 'අසම්මතය' ඇති වීම කොහොමටත් වළක්වන්න බැහැ. නමුත් සම්මතයට එකඟ වීම සහ නො එකඟ වීම කෙනෙකුට 'තෝරා ගැනීමක්' විය යුතුයි. සම්මතය කෙනෙකුගේ ජීවිතයට මාංචු කුට්ටමක් විය යුතු නැහැ. ප්‍රශ්නය ඇත්තේ එතනයි.
කොහොමටත්, ආදරය ගැන අපේ සමාජයේ මුල් බැස ගෙන තිබෙන මේ කළු-සුදු, එසේත් නැත්නම් පැතලි චින්තනය ආදරය ගැන කතා කරන දේට , ලියැවෙන දේට විතරක් නෙවෙයි කවි -ගීත වලටත් ඇතුළු වෙනවා. 'සදාචාරය' සහ 'සම්මතය' බිල්ලෙක් වගේ ආදරය විෂයෙහි සියලු දේ වසාගෙන සිටිනවා. මිනිසුන්ගෙන් වැඩි හරියක් තමන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වෙනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නේ පිළිවෙත් රකින්නයි. පිළිවෙත් ප්‍රශ්න නොකර පිළිවෙත් රැකීමම පිළිවෙතක් වෙනවා..මිනිසුන්ගේ ජීවිතයේ ආදරය ස්ථානගත වන සහ විය හැකි වෙනස් මානයන් ගැන සංවාදයක් ඉඳහිට හෝ දකින්නට ලැබෙන්නේ නැති තරම්.
ඒ නිසා මෙවැනි සමාජයක් ඇතුළට ශාන්ත වැලන්ටයින්ලා එන්න බයයි.

Comments