නරකෙස සහ සෙනෙහස

මගේ සිත වැඩිපුරම කම්පනයට පත් කළ කවිය කුමක්දැයි විමසා මා ලියන ඇතැම් දේ කියවන කෙනෙක් 'මූණුපොත' හරහා පණිවුඩයක් එවා තිබුණා. 

මා එයට පිළිතුරු දෙන්නට ගියේ නැහැ. දිය හැකි පිළිතුරක් මා සතුව තිබුණේත් නැහැ. එහෙත් එම ප්‍රශ්නය එදා දවස පුරාම මගේ සිතේ වරින් වර හොල්මන් කළා. ජීවිතයේ විටින් විට කියවූ මා ආසා කළ බොහෝ කවි මගේ මතකයට නැගුණත් එක පුංචි කවි පදයක් සිහියට නැගුණු සැණෙන් විදුලියක් කෙටුවා වැනි හැඟීමක් මගේ සිතට දැණුනා. මගේ මතකය නිවැරදි නම් එය කරුණාදාස සූරියාරච්චි පුවත්පතකට ලියූ කවියක කොටසක්. 

"වෙනස් වූ කාලයට 
බොහෝ දේ කළ හැකිය
සදා සපථ වූවන් 
ලිහා වෙන් කළ හැකිය.."

කාලය සහ අවකාශය ගැන විද්‍යාත්මක අර්ථකථන දෙන්නට මා දන්නේ නහැ. එහෙත් කාලය යනු මොන තරම් අරුමයක්දයි මා මගේ සිතෙන්ම බොහෝ වර ප්‍රශ්න කර තිබෙනවා.. මට හිතෙන්නේ මා කාලය හරහා ඇවිද යන මිනිසෙකු හැටියටයි.  කාලය ඉතා දිගයි. සෑම සතුටකටම, කඳුලකටම, මතකයකටම මෙන්ම ජීවිතයටත් වඩා කාලය දිගයි. මේ නිසාම නැණවත් මහලු විනිසුරෙකු සේ 'කාලය' ජීවිතයේ සියලුම සංසිද්ධීන් ගැන නිවැරැදිම තීන්දු ලබා දෙනවා.. 

මේ හැඟීම වඩාත් තීව්‍ර ලෙස සිතට දැනෙන්නේ අතීතයේ මා බොහෝ වර ගැවසුණු බිම්තීරයන් අද පසු කර යන අවස්ථාවලයි. එදා මා සැරිසැරූ පරිද්දෙන්ම එම තැන්වල අද නාඳුනන මිනිසුන් සැරිසරනවා. එම බිම්තීරයන්හි සදාකාලිකවම රැඳෙන්නට හැකි යැයි එදා මා සිතූ පරිද්දෙන්ම අද ඔවුනුත් සිතනවා ඇති. එහෙත් ඔවුන්ටත් නොදැනී ඔවුන් යම් කලකින් පිටස්තරයන් බවට පත් වෙනවා. එදාට එම බිම් තීරවල අලුත් අයිතිකරුවන්ට ඉඩදී ඔවුන් පිටව යා යුතුයි. අලුත් නවාතැන් සොයා ගත යුතුයි. මෙය ප්‍රහර්ෂයට පත් වීමට හෝ කම්පා වීමට හේතුවක් නොවෙයි. විශ්වයේ රටාව මෙයයි. 

ළඟදී දවසක කොළඹ රොස්මිඩ් පෙදෙස පසු කර යන අතරතුර 'සිලෝන් ටුඩේ' පුවත්පතේ ප්‍රවෘත්ති කාමරයේ මා හිඳගෙන සිටි තැන තිබුණු ජනේලය අඩක් විවරව තිබුණු හැටි මා දුටුවා. ඒ මොහොතේ මටත් නොදැනීම මගේ මුවට සිනහවක් නැගුණා. එසේ මා සිනාසුණේ මා සමගද, නො එසේ නම් කාලයක් මගේ තනි නොතනියට සිටි ජනේලය සමගදැයි ඒ වෙලාවේ සිතා ගන්නට බැරිවුණා. එහෙත් ඒ සිනාවත් සමග හිතට දැනුණේ හරිම ළතෙත් හැඟීමක්. 

මිනිසුන්ට 'ස්ථාන' මතක හිටිනවා සේම 'ස්ථාන' වලටත් මිනිසුන් මතක හිටින්නේ නැද්ද? ඇතැම් විට එලෙස මතක හිටිනවා වෙන්නට පුළුවන්. එකම වෙනස ඒ ස්ථාන වලට කතා කර ඒ බව කියන්නට නොහැකි වීම පමණයි. එක අතකින් එහෙම කතාකරන්නට බැරි වීමත් හොඳයි. හේතුව මිනිසුන්ට නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ස්ථානවලට බැරිවා මෙන්ම ස්ථානවලට අසන්නට ඇති ප්‍රශ්න වලට පිළිතුරුත් මිනිසුන් සතුව නොතිබීම.  එවිට අවසානයේ සිදුවන්නේ දෙදෙනාම ගොළු වීම පමණයි.. එසේ අසරණ වෙනවාට වඩා කතා නොකර සිටීම හොඳයි.

මේ ගැන සිතමින් සිටි වෙලාවේ මට දයාසේන ගුණසිංහ කවියා ලියූ 'නරකෙස සහ සෙනෙහස' කවි පංතියේ අවසාන කවි පේළි කිහිපය සිහියට නැගුණා.

"නිල් අහස තණ පලස කඳු රැලිය දිය කඳුර
තුරු සෙවණ ලිය ගොමුව සිනාසෙන මිනිස් කැළ
අයැදිමින් අප ඇසුර අත් විදා සිටින කල 
උනිමු ගහ ලෝ අතර ගුවන් පියසක සිරව

නර කෙසින් යුතු හිසින් නැවත මෙහි ආ විගස
සෙනෙහසින් මුළු ලොවම ඇද වැළඳ ගත් නමුදු
මගේ දෑතට මැදිව ළමැද කිසිවක් නොවී
මතු මතුත් මා පැතූ ඔබ පවා එහි නොවී.."



*                *                 *
( රසික ජයකොඩි 12. 10. 2013 )

Comments