"එළියත් අඳුරත් අතර අඳුරු කලාපයක්.."
මේ වචන කිහිපය මා මුලින්ම දුටුවේ මීට වසර ගණනාවකට පෙර අහම්බෙන් කියැවූ පුවත්පත් ලිපියක බව මට මතකයි. එහෙත් ඒ වචන කිහිපය මුලින්ම දුටු මොහොතේ සිහින් විදුලිය ඉරක් කෙටුවා වැනි හැඟීමක් මහේ සිතට දැනුණා.
ජීවිතයේ යථාර්ථය සහ එහි සැඟවී ඇති ගුප්ත බව ගැන මෙතරම් නිවැරදි සහ සංක්ෂිප්ත ලෙස ලෙස කෙරුණු විවරණයක් මෑතකදී කියවා ඇතැයි මා සිතන්නේ නැහැ.
එළිය යනු 'දැනුම' නම්, අඳුර යනු 'නොදැනුම' නම් ජීවිතයේ අප අත්විඳින බොහෝ දේ සිදු වන්නේ එළිය සහ අඳුර අතර පවතින අඳුරු කලාපය තුළදියි...
එය එසේ නම් ජීවිතයෙන් වැඩිහරියක් අප ගෙවා දමන්නේ එම අඩ අඳුරු කලාපය තුළ නෙවෙයිද?
ඇතැම් මිනිසුන් හිමිදිරි පාන්දරටත්, ගොම්මන් හැන්දෑවටත් බෙහෙවින් ප්‍රිය කරන්නේ ජීවිතයත් එළිය හා අඳුර අතරත් තියන සම්බන්ධය අපගේ යටිසිතට වැඩිපුරම දැනෙන්නේ දවසේ එම වේලාවේදී වීම නිසා වන්නට පුළුවන්. ඇතැම් විට වැහි මන්දාරම අයිති වෙන්නෙත් එළිය හා අඳුර අතර පවතින මේ අඳුරු කලාපයටම විය හැකියි..
එතකොට මිනිසෙකුගේ මරණය...?
බොහෝ දෙනෙකු මරණය අඳුර සමග සමපාත කළත් මරණය සහ නික්ම යාම තුළද කුමක් හෝ ගුප්ත එළියක් සැඟවී ඇතැයි මට සිතෙනවා. මරණයෙන් ඉක්බිති නික්ම යන මිනිසෙකු කිසිවෙකුටත් නොපෙනී රහසේම අවකාශයේ පාව යන්නේ කුමක් හෝ එළි තිතක් සොයමින් විය නොහැකිද?
අද පස්වරුවේ කරුණාදාස සූරියආරච්චිගේ, නො එසේ නම් කසුරිගේ, මරණය ගැන අසන්නට ලැබුණු මොහොතේත් මට සිතුණේ ඔය කාරණයමයි.
ඔහු සංස්කරණය කළ පුවත්පත කියවූයේ නැතත් මා ඔහු ලියූ බොහෝ දේට බෙහෙවින් ආසා කළා. කොහොමත් ලේඛකයෙකු කියන්නේ නිමාවක් නැති වචන ගොඩකට...එහෙත් කසුරිගේ වචනවල තැවරී තිබුණු ළතෙත් බව බෙහෙවින් සුන්දරයි.
මියගිය ලේඛකයෙකුගේ ජීවිතය ඉතාම සියුම් දුක්බර සංගීතයක් වගේ යැයි මට සිතෙනවා. සංගීතයක ස්වර වගේම ලේඛකයෙකු මියගිය පසු ඔහු ලියූ වචනද නොතිත් අවකාශයේ සැරිසරනවා.. ජීවිතය ඒ වචන තුළ ලියලනවා..
මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මා ඉතා ආස කරන කවියක වචන මේ මොහොතේ මගේ මතකයට නැගෙනවා..
"ඔරුව තුළ පෙනෙන්නට නැතද ඔබ
එකලාව යන බවක් නොවැටහෙයි
මරණයද මිරිඟුවක් සේ දැනෙයි
සබඳ මගෙ ජීවිතය මන බඳියි..."
මරණය සිනාසෙන වගක් මට දැනෙනවා.
* * *
රසික ජයකොඩි 16-11-2014
Comments
Post a Comment