සිගරැට් දුමක් සහ මිතුරෙක්

මම පුරුද්දක් විදියට සිගරැට් බොන්නේ නැහැ. ඒත් මං සිගරැට් නොබොන කෙනෙකුත් නෙවෙයි. අවශ්‍ය නම් සිගරැට් බොන්නත්, අනවශ්‍ය නම් නොබී ඉන්නත් මට පුළුවන්. ජීවිතයේ අන් බොහෝ දේවලට වගේ සිගරැට්ටුවටත් මං බැඳිලා නැහැ. 

ඒත් බොහොමයක් දුම්වැටි විරෝධී ප්‍රචාරක පටවල කියැවෙන කතාවල එක මහා පොදු සාධකයක් තියනවා. ඒ 'දුම්වැටිය මරු කැඳවයි' කියන එක. මේ නිසාම දුම්වැටිය සහ මරණය අතර තියන සම්බන්ධය සමාජය ඇතුළෙ ඉතාම ජනප්‍රියයි. සිගරැට්ටුවක් බොන මිනිහා බලහත්කාරයෙන් මරණයට ආරාධනා කරගන්න මෝඩයෙකු එහෙමත් නැත්නම් නරුමයෙකු කියන එකයි පොදුවේ සමාජය තුළ තියන මතය..

සිගරැට් බීම නිසා ආකාලයේ මියගිය අය බොහෝ දෙනෙකු ගැන මා දන්නවා. ඇතැමුන් මගේ මිතුරන්. ඇතැමුන් මිතුරන්ගේ මිතුරන්. ඒ වගේම නාම මාත්‍රයෙන් හෝ ආරංචි මාත්‍රයෙන් පමණක් අසා සිටි අයත් ඉන්නවා. ඔවුන් ජීවත්ව සිටියා නම් ලෝකය වෙනුවෙන් බොහෝ වැඩ කරන්නට අවකාශය මෙන්ම හැකියාවත් තිබුණු අය.. එහෙත් ඔවුන් මරණය තෝරා ගත්තා. ඇතැම්විට ඔවුන්ටත් නොදැනුවත්ව සිගරැට්ටුව ඔවුන්ට මරණය තෝරා දුන්නා. 

එහෙත් කරුමය කියන්නේ ඉඳහිට හරි මට සිගරැට්ටුවක් බොන වෙලාවට මතක් වෙන්නේම 'මරණය' නොව 'ජීවිතය' පමණක් වීම. ඔය ගැන ඊයේ පෙරේදා දවසක මම 'මූණුපොතේ' පුංචි සටහනකුත් දැම්මා.. 

'Cigarettes always remind me of life, not death.'

බෞද්ධ දර්ශනය තුළ සිහිය (සතිය) කියන කාරණයට ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. සිහියෙන්  ජීවත් වන මිනිසෙකුගේ ප්‍රබලම ලක්ෂණයක් වන්නේ එදිනෙදා අත්විඳින කවර සංසිද්ධියක් ඇතුළත වුණත් ජීවිතයේ යථා ස්වභාවය දැකීම.. ජීවිතයේ යථා ස්වභාවය විදියට බුදුන් හඳුන්වන්නේ අනිත්‍යය, දුක් සතිත බව සහ අනාත්ම ස්වරූපය..  පිපිලා තියෙන මලක, සුන්දර මිටියාවතක් මැද්දෙන් ගලන ගංගාවක මෙන්ම පාර අයිනේ වැටිලා තියන මී කුණක එහෙමත් නැත්නම් අත්ලට ගන්න වැලි කැටයක වුණත් ජීවිතයේ යථා ස්වභාවය දකින්න පුළුවන්. යථා ස්වභාවය දකින්න ගත්තට පස්සේ ජීවිතයේ බොහෝ දේ ඉතා තදින් අල්ලා ගන්නා ගතිය නැතිව යනවා. එවිට නිදහස් මනසින් සහ සැහැල්ලුවෙන් යුතුව ජීවිතයේ සංසිද්ධීන් වලට මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. එම සංසිද්ධීන් විසින්ම නිර්මාණය කරන 'මායාව' සිහියෙන් යුතුව විනිවිදින්නට හැකියාව ලැබෙනවා. 

සිගරැට්ටුවත් මට හරියට ඒ වගේ..

ෆිල්ටරයෙන් පෙරහන් කොට ළය ඇතුළට ගන්න දුම් රොදක, පෙනහළු සෛල පුළුස්සා දමා මුවගින් සහ නැහැ පුඩු අතරින් පිටව යන දුම් වළල්ලක මෙන්ම හෙමිහිට දැවී බිම වැටෙන අළු බිඳකත් කෙනෙකුට හමුවන්නේ ජීවිතයේ යථා ස්වභාවයයි. ඒ අර්ථයෙන් බලන විට ජීවිතය සිගරැට්ටුවක් වගේ. 

කාලයක් මා සමග එකට වැඩ කළ, 'ද නේෂන්' පුවත්පතේ ඉතා දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වුණු රුක්ෂාන් අබේවංශ රිය අනතුරකට මුහුණ දුන්නා කියා අද හවස අසන්නට ලැබුණා. පුවත්පතේ ඔහු සමග වැඩ කරන කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් දුන්නත් ඔවුන් කිසිවෙකු ඔහුගේ තත්ත්වය ගැන කිසිවක් හරියට කියන්නට දැන සිටියේ නැහැ. ඔහුට සුව වන්නට තව කොපමණ කාලයක් ගත වේදැයි කියන්නට බැරි බවයි ඔවුන් හැම දෙනාම කිව්වෙ. 

මීට දින කිහිපයකට ඉහතදී මට ඔහු මුණගැසුණා. 

රුක්ෂාන් ඉක්මනින් යන්නට සැරසුණත් ටික වේලාවක් ඔහු රඳවා ගන්නට වුවමනා නිසා සිගරැට්ටුවක් බොනවා දැයි මා ඔහුගෙන් විමසුවා. සාමාන්‍යයෙන් සිගරැට් නොබොන කෙනෙකු වුණත් ඔහු ඊට කැමති වුණා. සිගරැට්ටුව අළු වන තුරු මා ඔහු සමග නොයෙක් වල්පල් කතා කළා. ඔහු යන්නට සැරසුණු මොහොතේ මා කියූ මොකක් හෝ කුණුහරුප කතාවකට ඔහු හයියෙන් හිනාවුණා.

මා මෙය ලියන මොහොතේ මගේ මිත්‍රයා රෝහල් ඇඳක නිදා සිටිනවා ඇති. හෙට උදෑසන ඔහු බලන්න යා යුතුයි. 

මට ඔහුගේ සිනා මුහුණ මැවී පෙනෙනවා. ඒ සිගරැට් දුම අතරින්.. 



*              *               *
( රසික ජයකොඩි  08-06-2014 )

Comments