ඉර ටිකක් නවතින්න

ඝර්ම කලාපයේ උණුසුම් රටක ජීවත් වන කෙනෙකුට සොබාදහමේ ඇතැම් සංසිද්ධීන් ගැන කිසියම් ෆැන්ටසියක් ඇතැයි මා විශ්වාස කරනවා. 

රාත්‍රිය, වස්සානය, හඳ, සීතල වැනි සංකල්ප බොහෝ දෙනෙකුගේ හිත් තුළ ෆැන්ටසි බවට පත් වෙනවා. මෙහි අනෙක් පැත්ත ගැන සිතුවොත් දහවල, ගිම්හානය, ඉර හා දාහය ගැන එවැනි ෆැන්ටසියක් ඇති වෙන්නේ නැහැ. 

මෙය ප්‍රේමය වැනි මිනිස් සම්බන්ධකම්වලටත් මෙලෙසින්ම බද්ධ කරන්නට බොහෝ දෙනෙකු පෙළඹෙනවා. නිදසුනක් ලෙස රූපවාහිනි තිරය මත, සිනමා තිරකතා වල මෙන්ම ඇතැම් සාහිත්‍ය කෘති වලත් ප්‍රේම කරන්නේ බෙහෙවින් සුන්දර, සෞම්‍ය, මටසිලිටි පිරිමින් හා ගැහැණුන් පමණයි. එසේ නොවන අය තුළ ප්‍රේමයක් හෝ ඒ හා සබැඳි ඉසියුම් සිතිවිල්ලක් ජනිත වන්නට අවකාශයක් නැතැයි යන අදහසට මෙයින් ඉඟි කෙරෙනවා. අවලස්සන ගැහැණුන් හා පිරිමින් අතර ඇතිවන ප්‍රේමය ගැන ෆැන්ටසිමය සිතිවිල්ලක් ගොඩනගනවාට බොහෝ අය කැමැති නැහැ. එයට හේතු ගණනාවක් බලපානවා වෙන්නට පුළුවන්. 

මිනිසුන්ගේ සිත තුළ ගොඩනැගෙන ෆැන්ටසි විටෙක බෙහෙවින්ම දේශපාලනිකයි. නිදසුනක් වශයෙන් එම ෆැන්ටසිය ඔවුන් ජීවත් වන සමාජය, පරිසරය, කාලවකවානුව, එම කාලවකවානුව තුළ පවතින ආර්ථික රටාව, ආර්ථික සාධකය විසින් මිනිසුන්ගේ සිතුම් පැතුම් හසුරවන ආකාරය..යනාදී  කරුණු ගණනාවක් මුල් කරගෙන ගොඩනැගෙනවා. කලාවෙන් හෝ වෙනත් කුමන හෝ මාධ්‍යයකින් මෙම ෆැන්ටසිය ස්පර්ශ කරනවාට මිනිසුන් කැමතියි. 'ජනප්‍රිය කලාව' නමැති සංකල්පය බිහිවෙන්නේ ඔතැනින් බවත් විටෙක මට හිතෙනවා.

 මෙයට වසර පහ හයකට පමණ පෙර එක්තරා දහවලක  මා නවදිල්ලි ගුවන් තොටුපළේ ගොඩබසින්නට සුළු මොහොතකට පෙර ගුවන් යානයේ කවුළුව තුළින් අපූරු දසුනක් දුටුවා. ඒ ඉතා දිග රථවාහන පෝළිමක්. මේ රථවාහන පෝළිමේ සිරවී නොඉවසිල්ලෙන් සිටිනා සිය ගණනක් මිනිසුන්ගේ ජීවිතවල කුමනාකාරයේ ප්‍රේම කථා ලියැවී තිබෙනවා වෙන්නට පුළුවන්ද? ඔවුන් හින්දි චිත්‍රපටවල අප දකින නළු නිළියන් තරම් ලස්සන නැති වුණත් ඔවුන්ගේ ජීවිතවලින් තිර කතා ලිව්වොත් හින්දි චිත්‍රපටවලට වඩා කොතරම් ලස්සන වේදැයි ඒ මොහොතේ මට සිතුණා. එලෙස එම කතාන්දර ලස්සන වන්නේ ෆැන්ටසියේ මායාව බිඳ හැර මහපොළොවේ යථාර්ථය එ'තුළ අපට මුණ ගැසෙන නිසයි. 

මෙයට කාලයකට ඉහත සෙනසුරාදා දිනෙක සන්ධ්‍යාවක  'සිලෝන් ටුඩේ' පුවත්පතේ කතෘවරයාව සිටි ලලිත් අලහකෝන් සමග සුනිල් සාන්තගේ සංගීතය ගැන කතා කළා මතකයි. මේ කතා බහේ කොතැන හෝ තැනක සුනිල් සාන්ත සංගීතය සැපයූ සිසිර සේනාරත්න ගායනා කළ 'ඕළු නෙළුම් නෙරිය රඟාලා' ගීතයත් ඇදී ආවා. ලලිත් පැවසුවේ මර්සලීන් ජයකොඩි පියනම මේ ගීතය ලියා ඇත්තේ කබරගොයෙකු දිය සුළි නගා දිය පාරකට බැස ගිය දසුන දැකීමෙන් ඇතිවූ උත්තේජනය මත බවයි. ගීතයේ එක් තැනක එබඳු රූපයක් රචකයාම මවනවා. එයින් කියන්නේ කබරගොයෙකු දිය සුළි නගා සිය සිය සුරතලිය සොයා ඇදී ගිය බවයි. 

ඒ කතාව ඇසූ මොහොතේ මට මෙම ගීතයේ මෙතෙක් නොදුටු පැතිකඩක් පෙනෙන්නට පටන් ගත්තා. ලස්සන මල් වලින්, සඳ එළියෙන්, මන්දාරමේ වැටෙන පොද වැස්සෙන් ප්‍රේමය පිළිබඳව හැඟීම් උපදවා ගන්නවාට වඩා දහවලක දිය සුළි නගා දියට බසින අවලස්සන කබරගොයෙකුගේ දසුනින් ප්‍රේමයේ මිහිර විඳ ගැනීම මොන තරම් අපූරුද? කුරුල්ලන් සමනළයින් ගිරා මලිත්තන් ප්‍රේම කරන බව අප දැන සිටියත් කබරගොයෙකුටත් ප්‍රේමය දැනෙන බව සිහිපත් වෙන්නේ කෙතරම් කලාතුරකින්ද? 

මේ ගැන සිතන විට මට සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය සිහිපත් වීමත් වළක්වන්නට බැහැ. පිටතින් කොතරම් රළු සත්තවයෙකු වුණත් සිංහයාගේ කොතරම් දැඩි ලෙස ප්‍රේමයට සංවේදී වෙනවාද? එම නාට්‍යයේ එන 'ගල් ලෙන බිඳලා' ගීතයේ 'සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය' කොටස ඇසෙන ඕනෑම මොහොතක මේ රෞද්‍ර සිංහයා ප්‍රේමයට කෙතරම් ගැති සතෙකුදැයි මට සිතෙනවා. එය අප සිත්වල පවතින 'ෆැන්ටසියට' බොහෝ විට ගෝචර නොවන දෙයක්.

ප්‍රේමය සම්බන්ධයෙන් විශ්වයේ පවතින එම රටාව තේරුම් ගන්නා කෙනෙකුට සෞම්‍ය පුන්සඳ මෙන්ම චණ්ඩ හිරු කිරණ තුළත් රැඳී පවතින්නේ එකම ආදරයක් බව ඒත්තු යනවා.  ඇතැම් සබඳකම් වලින් සඳක සිසිල දැනෙන්නේත් ඇතැම් සබඳකම් වලින් හිරු කිරණක උණුසුම දැනෙන්නේ දැනෙන්නේත් ඇයිද යන කාරණය තේරුම් ගන්නට ඉඩ ලැබෙනවා. සඳ එළිය ජීවිතයට අවැසි තරමටම හිරු කිරණත් ජීවිතයට අවැසි බව වැටහෙන්නට පටන් ගන්නවා. 



*               *               *
( රසික ජයකොඩි 24-11-2013 )

Comments