ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන කවියෙකු වන සුනිල් ගෝවින්නගේ විමලරත්න කුමාරගමගේ 'හුදෙකලාව' යන කවි පෙළ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නැයි කියා මට ඊ-මේල් පණිවුඩයක් එවා තිබුණා. ඒ සමගම ඔහු 'හුදෙකලාව' කවි පංතියේ පිටපතකුත් අමුණා එවා තිබුණා.
මා කිහිප වතාවක් මට පුළුවන් අන්දමට කවි පරිවර්තනය කර තිබෙනවා. ඇතැම් සිංහල කවි ඉංග්‍රීසි භාෂාවටත් ඇතැම් ඉංග්‍රීසි කවි සිංහල භාෂාවටත් පරිවර්තනය කරන්නට මට සිදු වුණා. එසේ වුවත් කවියක් යනු සැබෑ ලෙසම පරිවර්තනය කළ හැකි දෙයක්ද යන කුකුස මට සදාතනිකව තිබෙනවා. පරිවර්තනය කරනවා නම් පරිවර්තනය කළ හැක්කේ කවිය නොව කවියේ අදහසයි. එසේ වුවත් කවිය යනු හුදෙක් අදහසක් නොවෙයි. අදහසෙන් ඔබ්බට ගිය භාෂාවේ සියුම් අලංකරණද කවියක් තුළ අන්තර්ගතයි. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්විය හැක්කේ 'nuances' යනුවෙන්.
එක් භාෂාවකට පමණක් අනන්‍ය මෙබඳු සියුම් අලංකරණ තවත් භාෂාවකට පරිවර්තනය කළ නොහැකියි. සරලම නිදසුනක් වන්නේ සිංහලෙන් අප කියන "ගිහින් එන්නම්" යන වැකිය එම අදහසම දැනවෙන පරිදි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නට බැහැ. එයට හේතුව වන්නේ භාෂාවක එම සියුම් අලංකරණ පිටුපස ඇත්තේ ඉතා දුරට විහිදී ගිය සංස්කෘතික මූලයන් පැවතීම. 'ගිහින් එන්නම්' කියන වචනය පිටුපස ඇත්තේ වසර දහස් ගණනක් ඈතට විහිදී ගිය පෙරදිග චින්තන සම්ප්‍රදායේ ඡායාවන් යැයි කෙනෙකුට කියන්නට පුළුවන්.
සිංහල භාෂාව එබඳු සියුම් අලංකරණ පිරුණු භාෂාවක්. මේ නිසාම සිංහලයෙන් අදහස් ඉතා සියුම්ව පවසන්නට පුළුවන්. එබැවින් ප්‍රේමය ප්‍රකාශ කරන්නට සිංහල බෙහෙවින්ම ඔබින බසක් ය යන්න මට නොයෙක් වර සිතුණු දෙයක්. ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවට වඩා බෙහෙවින් සංයුක්ත, සංක්ෂිප්ත එකක් යැයි යන්න මගේ විශ්වාසයයි.
කුඩා කාලයේ පටන්ම මට මාත්‍රා දහ අටට සමුද්‍රඝෝෂ විරිතෙන් ගැයෙන කවි ගායනා හොඳහැටි හුරුයි. මට පරිවර්තනය කරන්නට ලැබුණු 'හුදෙකලාව' කවි පංතියත් ලියැවී ඇත්තේත් සමුද්‍රඝෝෂ විරිතෙන්මයි. මේ විරිත හා බැඳුණු බෙහෙවින් ගුප්ත ශෝකී රාවයක් ඇතිය යන්න මගේ සිත මට නොයෙක්වර පවසන දෙයක්. මෙයට වසර ගණනාවකට ඉහත තිස්ස අබේසේකරයන් මේ හා සමාන අදහසක් පුවත්පත් ලිපියක පවසා තිබුණා මතකයි. අමෙරිකානු පර්යේෂකයෙකු උපුටා දක්වමින් ඔහු ලියා තිබුණේ බොහෝ සම්ප්‍රදායික සිංහල කවි වල නාද රටා යටින් දිවෙන ශෝකාකූල ස්වරයක් ඇති බවයි.
මේ ශෝකාකූල ස්වරය ස්වරය පිටුපස ඇත්තේත් සංස්කෘතික මූලයක්දැයි කියන්නට මා දන්නේ නැහැ. එහෙත් මෙම ගුප්ත ශෝකාකූල ස්වරය මා සම්ප්‍රදායික සිංහල කවියට දැඩිව පෙම් බඳින්නට ප්‍රබල හේතුවක්.
මා අද පරිගණක තිරයක් අභියස වාඩි වී කුමන බසකින් කුමන දෙයක් ලිව්වත් අතීතයේ මා බෙහෙවින්ම පෙම් කළ සමුද්‍රඝෝෂ විරිතේ ගුප්ත ශෝකී රාවය අඳුරෙහි සැඟව එන සෙවණල්ලක් සේ මා පසුපස පැමිණෙන බව මට දැනෙනවා. ඇතැම් විටෙක මා දැන දැනම එම සෙවණැල්ලෙහි සැඟවෙනවා. ඇතැම් විට මා එය මග හැර යන්නට උත්සාහ කරනවා.
ඒ කුමක් කළත් මද දුරක් පැමිණ යළිත් පසු පස බැලූ විට එම ගුප්ත සෙවණැල්ල කොතැනක හෝ සිට මා දෙස බලා සිටින බව මට හැඟෙනවා.
* * *
Comments
Post a Comment