පසුගියදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු රැස්වීමක දී එක්තරා රජයේ ආයතනයක ඉහළ නිලධරියෙකු තමා පාවිච්චි කරමින් සිටි නිල රථය විශ්‍රාම යන විට ගෙදර ගෙනගොස් තිබුණු බව අනාවරණය වුණා. ඒ සඳහා හේතුව ලෙස දක්වා තිබුණේ එම නිලධාරියාට ඒ රථය සමග "විශේෂ භාවමය බැඳීමක්' (special sentimental value) තිබීමයි.
විශේෂ භාවමය බැඳීම නිසා රජයට කෝටි ගණනක් පාඩු සිදු කිරීම බරපතළ වැරැද්දක්. එමෙන්ම බලය සහ සම්පත් අවභාවිතා කිර්‍රිමක් සාධාරණීකරණය කිරීමට එය විශේෂ භාවමය බැඳීමක් ලෙස හුවා දැක්වීම ඊටත් වඩා වරදක්. මේ සිදුවීමට අදාළ නැතත් මට පසුව හිතුණේ මිනිසුන් අචේතනික වස්තූන් සහ ස්ථාන සමග භාවමය බැඳීම් ඇති කරගන්නේ පුදුම සහගත ලෙස බවයි.
මේ භාවමය බැඳීම කියන්නෙම මනසින් අල්ලා ගැනීමක්. අල්ලා ගැනීම දැඩි වෙන තරමට අත අරින්න අපහසුයි. ඒක මනෝමය සිරගෙයක්. කෙනෙකු හැකිතාක් මේ මනෝමය සිරගෙවල්වලින් ගැලවී යාමට උත්සාහ කරන අතරේම තවකෙකු වැඩි වැඩියෙන් මේ සිරගෙවල් සොයමින් යනවා.
පුද්ගලයන් සමග ඇති කරගන්නා භාවමය බැඳීම් වැඩි දුර ගෙනයන්නේ නැතිව සිටින්නට මා නිතරම උත්සාහ කරනවා. එය බොහෝ විට මගේම ආරක්ෂාව වෙනුවෙන් මා පාවිච්චි කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්. ද්‍රව්‍යමය වස්තු සම්පත්තීන් සමගත් මා භාවමය බැඳීම් ඇති කරගන්නේ ඉතාම අඩුවෙන්. මගේ භාවමය බැඳීම් බොහෝ විට රැඳී පවතින්නේ 'ස්ථාන' සහ සිදුවීම් සමග බැඳුණු මතක එක්කයි. එය එක්තරා දුරකට වාසනාවක් වගේම අවාසනාවක්.
මගේ ජීවිතයෙන් සැළකිය යුතු කාලයක් ගෙවා දමා ඇත්තේ මරදාන සහ පුංචි බොරැල්ල ආශ්‍රිතව. මගේ පාසල මෙන්ම වසර පහක් පමණ රැකියාව කළ කාර්යාලයක් ද පිහිටා තිබුණේ මරදානේ. බොහෝ රාත්‍රීන්වල මැදියම් රැයත් ඉකුත් වූ පසුව මා මරදානේ කුණු ගඳ ගහන, මීයන් දුවන වීදිවල ඇවිද ගොස් තිබෙනවා. පොද වැස්සක් වසින දාට මේ වීදි මඩ වෙනවා.
මේ වීදිවලට අනන්‍ය වූ ජීවිතයක් තිබෙනවා. කඩ පිල් අයිනේ ඉසේ සිට පහළට පොරවා ගෙන නිහඬව නිදා ගන්නා යාචකයන් ද, වෙහෙසකර දවසක අවසානයේ මත් පැන් බිඳක් තොල ගා තම තමන්ගේ කුටුම්භ වෙත ඇවිද යන මිනිසුන් ද, වීදි සරන කාන්තාවන් ද, පික්පොකට්කාරයන් ද, බැණ අඬගසන මිනිසුන් ද, පුරුද්දට මෙන් ඔබ මොබ ඇවිද පොලිස්කාරයන් ද මේ වීදියේ ජීවිතයේ කොටස්කාරයන් කියා මට හිතෙනවා. ඒක හරියට ධර්මසේන පතිරාජගේ චිත්‍රපටයක් වගේ.
අද ඒ ගැන හිතන විට දැනෙන්නේ මේ සෑම රූපයක්ම එකම කැන්වසයක ඇඳුණු චිත්‍ර වගේ. එක රූපයකින් තොරව අනෙක් රූපයට පවතින්න බෑ. ඒ වගේම එක රූපයක් හෝ නොසළකා හැරියොත් චිත්‍රය අසම්පූර්ණයි. මේ චිත්‍රයට එයට අනන්‍ය වූ ලස්සනක් තියනවා. හැබැයි ඒක ලෝකයේ බොහෝ දෙනෙකු ලස්සන යැයි 'සම්මත' කොට නීතිගත කර තිබෙන ලස්සන නෙවෙයි
අදත් ඉඳහිට රාත්‍රියක මරදාන පසුකොට යනකොට මට වසර ගණනක් තිස්සේ මනසට හුරුපුරුදු ඒ චිත්‍රය මතකයට නැගෙනවා. ඇතැම් විට අද මරදාන එදාට වඩා අලුත් වී තිබෙන්නට පුලුවන්. අලුතින් කඩ සාප්පු ඉදි වී තිබෙන්නට පුළුවන්. එමෙන්ම එදා උන් සමහර මිනිසුන් සහ ගැහැණුන් වෙනුවට අලුත් අය වීදියට ඇවිත් තිබෙන්නට පුළුවන්. ජීවිතයේ රටාව එහෙම තමයි. ඒත් අර මම කලින් කියපු 'චිත්‍රය' වෙනස් වෙලා තියනවද? උත්තරය ඔව් සහ නැහැ.
මට හිතෙන්නේ ඒ චිත්‍රයට මා භාවමය බැඳීමක් ඇති කරගෙන තිබෙන බවයි. එක්තරා දුරකට ඒ බැඳීම අතීතකාමය නිසා ඇති වන්නක්. අනෙක් අතට ඒ තුළ පෙනෙන ජීවිතයේ හරස්කඩට ආශක්ත වීම නිසා ඇති වන්නක්. ජීවිතය කියන්නෙම අපටත් නොදැනීම අපගේ අතැඟිලි අතරින් ගිලිහී යන දෙයක්. හරියටම මැදියම් රැයද ඉකුත් වූ හෝරාවක මරදානේ වීදි වලින් මතු වී පෙනී නොපෙනී යන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ඡායාවන් වගේ.
රසික ජයකොඩි 08/09/2019
Comments
Post a Comment