සැරිසරන්නෙකුගේ සටහනක්

මා පාසල් යන කාලයේ හරියට ඉගෙන ගත්තේ නැහැ. රචනා ලියන්නට කවි ලියන්නට හැරුණු විට වෙනත් කිසිම දෙයක් ඉගෙන ගන්නට මට ලොකු ආසාවක් තිබුණේත් නැහැ. පංති කාමරයක වාඩිවී මනස එක තැනක රඳවා ගෙන හොඳට ඉගෙන ගන්නට තරම් විනයවත් මනසක් මට පාසල් යන කාලයේ තිබුණෙ නැති බව මතකයි. කොහොමටත් අදටත් මට එක දෙයක් කෙරෙහි බොහෝ වෙලා අවධානය යොමු කරන්නට අපහසුයි. මට ඇත්තේ අයාලේ ඇවිදින මනසක්. මා එයට ආසයි. 

ඒ කාලයේ මගේ පංතියේ සිටි මිතුරන් උනන්දුවෙන් පාඩම් අසා සිටින විට මා කළේ පොතේ අවසාන පිටුවේ කුමක් හෝ දෙයක් කුරුටු ගෑම. නො එසේ නම් කොහේ හෝ හමුවුණු කවියක වචන, ගීතයක තාලය හෝ පොතක සිටි චරිතයක් ගැන කල්පනා කිරීම.. ඒ කාලයේ මා ළඟ තිබුණු සටහන් පොත් ඉතාම අපිළිවෙළයි. බොහෝ පොත් වල පිටකවර ඉරී ගැලවී තිබුණු බවත් මතකයි. ඒවා සිහිපත් වන විට මට අද සිනහ පහළ වෙනවා. පාඩම්වල ඉගෙනගත් අකුරක්වත් අද මතක නැතත් මා ඉගෙන ගත් පංති අසළ තිබුණු සෑම ගසකම කොළ හෙළවෙන රිද්මය,ඒ ගස්වල පිපුණු  හැම මලකම සුවඳ මට අද වගේ මතකයි. 

මා මුලින්ම ලියන්නට පටන් ගත්තේ කවදාදයි අද මට මතකයට නගා ගන්නට අපහසුයි. එහෙත් පාසල් යන කාලයේ සිටම ලියූ ඇතැම් පුංචි පුංචි කවිවල වචන අදත් ඉඳහිට මගේ මතකයට නැගෙනවා. එදත් අදත් ලිවීම හැරෙන්නට වෙනත් කිසිම දෙයක් මට හරිහැටි කරන්නට පුළුවන්යැයි මා සිතන්නේ නැහැ. යම් හෙයකින්  ලෝකයේ 'ලිවීම' කියා දෙයක් හොයාගෙන නොතිබුණා නම් මට කරන්නට පුළුවන් වෙනත් කිසිදු රැකියාවක් අදටත් මගේ කල්පනාවට නැගෙන්නේ නැහැ .

මෙයට වසර ගණනාවකට පෙර මා ආනන්දයේ 10 පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ පංතිය පිහිටා තිබුණේ 'බුද්ධ ජයන්ති' යනුවෙන් හඳුන්වන ගොඩනැගිල්ලේ පහළම තට්ටුවේ. එදා සිකුරාදා දවසක්. වේලාව උදෑසන 10.15ට පමණ ඇති. වාණිජ්‍යය විෂය ඉගැන්වූ ගුරුවරයා කුමක් හෝ සටහනක් කියවමින් සිටියා.. ඒ මොහොතේ පංතියේ විවර කර තිබුණු කවුළු හරහා හමා ආ ඉතාම රමණීය සුළඟ මට තවම මතකයි. සුළඟ එතරම්ම සුන්දර බවක් ජීවිතයේ එයට පෙර මට දැනී තිබුණේ නැහැ. ඒ සුළඟ ගැන සිතමින් සිටි මට ගුරුවරයා කියවමින් සිටි සටහන මග හැරුණා. මගේ සිත වෙනතක ගියා..සුළඟ නිසා මගේ මුහුණේ ඇඳුණු සිනහව ඔහුගෙන් සඟවා ගන්නට මා ගත් වෙහෙස දන්නේ මා පමණයි. වාණිජ්‍යය විෂයයේ එන හර-බැර වලට වඩා ලෝකයේ මොන තරම් ලස්සන දේවල් ඇතිදැයි යන්න ඒ මොහොතේ මගේ සිතට නැගුණු දෙයක්.

ඒ කාලයේ මා බොහෝ විට වාඩි වූයේ පංතියේ ජනේලය අසළමයි. ඒ ඇයිදැයි මට හිතා ගන්නට අපහසු වුණත් ජනේලයක් අසළට වී පිටත ලෝකය දෙස බලා සිටීම අදටත් මා ආසා කරන දෙයක්. නොතේරෙන විෂය කරුණු වලින් හිස බර වුණු සෑම මොහොතකම මා කළේ ජනේලයෙන් පිටත පෙනෙන ලෝකය ගැන සිතීම. පොත් පත් වල තියෙන අමාරු සිද්ධාන්ත වලට වඩා ජනේලයෙන් පිටත පෙනෙන ලෝකය කෙරෙහි මගේ සිත ඇදී ගියා.. පසුකාලීනව හෙන්රි ජයසේනගේ 'ජනේලය' නාට්‍යය බැලූ දවසක පාසල් යන කාලයේ සිටම පැවති ඔය පුරුද්ද සිහියට නැගුණු බවත් මට මතකයි. ජනේලවලට ආසා කරන්නේ ඉබාගාතේ යන්නට කැමති මිනිසුන් බව මට අද වැටහෙනවා..

මා මගේ පාසලට ආදරය කරන්නේ මල් උයනක වැඩෙන වල් පැළෑටියක් වගේ මට මා විදියට වැඩෙන්නට ඉඩ දුන් නිසයි. යළි යළිත් සිහියට නැගෙන පුංචි පුංචි මතක රොන් සුණු රාශියක් මගේ සිතේ ඉතිරි කර දුන් නිසයි. ජීවිතයේ මහා ලොකු දේවල් අපේක්ෂා කරන්නේ නැතිව පුංචි පුංචි දේවල් වලට ආදරය කරන්නට හුරුකොට මා ප්‍රේමවන්තයෙකු බවට පත් කළ නිසයි. පංතිය ඉදිරිපිට තිබුණු රූස්ස ගහක තුරුපත් හෙළවෙන තාලයට දැහැන්ගත වන්නට ඉඩ හැර විෂය කරුණු වලින් මා මුදා හළ නිසයි. මගේ ළඟ ඇති හා ළඟ නැති මිනිසුන්ට හා ගැහැණුන්ට ඔවුන්ටත් නොදැනෙන පරිදි ආදරය කරන්නට මට කියා දුන් නිසයි. 

ඇතැම් දවසක ආනන්දය පසු කර යන දවසට මට බොහෝ දේ සිතෙනවා. පාසළ ඇතුළේ තිබුණු ගහකොළ වලට, මා පුංචි කවි කුරුටු ගෑ ඩෙස්ක් වලට, එහා මෙහා ඇවිද ගිය සිමෙන්ති කොරිඩෝර වලට තවමත් මා මතක ඇතිදැයි ඇතැම් විට මට සිහිපත් වෙනවා. එහෙත් මට පෙරත් මගෙන් පසුත් තවත් බොහෝ දෙනා ආ ගිය නිසා ඒ කිසිවකට දැන් මා ගැන අංශුමාත්‍රයකවත් මතකයක් නැතිව ඇති. එහෙත් ඒ ගැන අමනාප වන්නේ නැතිව එදාටත් වඩා ඒ මතක මංපෙත් වලට ආදරය කරන්නට අද මට පුළුවන්.

Comments