පෙරදිග චින්තනයේ මූලිකම ලක්ෂණයක් වන්නේ 'හඹා යාම ' අතහැරීමයි.
'Earthman' නමැති අප්‍රසිද්ධ ඉංග්‍රීසි නවකථාවක් ගැන මා කොහේ හෝ තැනක කියවා තිබෙනවා. ඉන් කියැවෙන්නේ යුරෝපයේ ඉපිද ජීවිතයේ සත්‍යය හා අස්වැසිල්ල සොයා පෙරදිගට පැමිණෙන සුදු මිනිසෙකු ගැන. ඔහුට එම නවකථාවේ එක්තරා තැනකදී වනගත 'සාධුවරයෙකු' මුණ ගැසෙනවා. ඔහු ජීවිතයේ සත්‍යය ගැන පවසන්නේ එකම එක වැකියයි.
"ඔබට සඳ තේරුම් ගන්නට අවශ්‍ය නම් සඳට යන්න එපා. සඳ බවට පත් වෙන්න..."
ගවේෂණය කිරීම ඉතා වෙහෙසකර කාර්යයක්. එසේම ගවේෂණය තුළින් හමුවන එකම දෙයත් ගවේෂණයම පමණයි. සත්‍යය නොවෙයි. කිසියම් කාරණයක් විෂයෙහි සත්‍යය හමුවන්නේ එම සත්‍යය හඹායාම අත් හළ මොහොතටයි. ලුහුබැඳීමෙන් අත්මිදුණු විටයි.
හඹායාම සහ ගවේෂණය අත්හළ මොහොතේ ඔනෑම සන්සිද්ධියක් සමග, ඕනෑම පුද්ගලයෙකු සමග, ඕනෑම වෙනස් වීමක් සමග ඒකාත්මික වන්නට අවකාශය ලැබෙනවා. අහසේ පාවෙන දුම් වළල්ලක් ලෙස සිතුවිලි නිශ්චිත හැඩයකින් තොරව සැරිසරන්නට පටන් ගන්නවා. නිශ්චිත හැඩයක් නැති දෙයක් තුළින් පමණයි ඕනෑම හැඩයක් මතු කළ හැකි වන්නේ.
විශ්වයේ වඩාත්ම ලස්සන කටහඬ ඇත්තේ නිහැඬියාවට යැයි මගේ මිත්‍රයෙකු දිනක් කිව්වා. ඔහු එය කී මොහොතේම මට මතක් වුණේ සංගීතය ගැන එයට පෙර දවසක මා අසා තිබූ එක්තරා කතාවක්. එයින් කියැවුණේ සංගීතයේ වඩාත්ම ලස්සන ස්වරය සියලුම ස්වර නිහඬ වන නිහඬතාව බවයි.. සංගීතය තුළ කෙරෙන්නේ නිහැඬියාව මත ස්වර ඇතිරීමයි. ස්වර අතර ඇති පුංචි හිස්තැන් වලින් නිහැඬියාව මතුවන විට සුන්දරත්වය උපදින්නට පටන් ගන්නවා.
එය කවියකත් කියැවෙන දේ සහ නොකියැවෙන දේ අතර ඇති සහසම්බන්ධය වගෙයි. කවියක් සුන්දර වන්නේ ඉන් කියැවෙන දේ නිසා නොව නොකියැවෙන දේ නිසයි. කියැවෙන දේ සහ නොකියවෙන දේ එක ළඟ එක ගළපන්නට ( juxtaposition ) දක්ෂ කවියෙකුට පුළුවන්. එය මායාකරුවෙකු සතුව තිබෙන හැකියාව බඳු එකක්.
ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යායම' ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම...මේ සියල්ලක්ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ.. කවියක කියැවෙන දේ සහ නොකියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට 'උපේක්ෂාව' යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.
එවිට ජීවිතය පෙනෙන්නේ හරියටම තර්කොව්ස්කිගේ සිනමා පටයක් විදියටයි. ඔහු වරක් මෙවැනි කතාවක් කිව්වා..
"නින්ද හොයාගත් මිනිසාට මා සදා ණයගැතියි. නින්ද තුළ ගිලී සිටින විට මට සතුටක්වත්, දුකවත්, බියක්වත්, කරදරයක්වත් දැන්නෙන්නේ නැහැ. රජෙකුට වුණත්, දිළින්දෙකුට වුණත්, ගොපල්ලෙකුට වුණත් නින්දේදී දැනෙන හැඟීම එකයි. එහෙත් ඉතාම ගැඹුරු නින්දකදී මතක් වෙන එක් දෙයක් තියනවා. ඒ මරණයයි..."
* * *
(රසික ජයකොඩි 01-03-2014 )
Comments
Post a Comment