වැසි සමය යළිත් ඇරඹී ඇතැයි මට සිතෙනවා. ඝර්ම කලාපයේ රටක ජීවත් වෙන මිනිසෙකු නිසා මට වැසි සමය ඇරඹීම මහා සතුටක්. වැහි බිංදු පොළොවට වැටෙන හඬ, අලුත තෙමුණු පොළොවෙන් මතු වෙන නැවුම් සුවඳ, හදවතේ හිරිගඩු පුබුදුවන සීතල.. මේ සියල්ලක්ම මට දැනෙන්නේ කිසිදාක ලියා අවසන් අළ නොහෙන මියුරු කවියක් වගේ. මගේ සිත වැස්සේ තෙමි තෙමීම ඈතට දිව යනවා.
මගේ ජීවිතයේ මා වඩාත්ම ආසා කළ වැස්ස කුමක්දැයි යන්න හෝ ඒ වැස්සට මා එතරම්ම ආසා කළේ ඇයිද යන්න මෙතැන ලියන්නට තරම් මගේ හිතට ශක්තියක් නැහැ.. ඒත් මම මෙහෙම කියන්නම්. ජීවිතයේ බොහෝ සුන්දර මතකයන් මෙන්ම එම මතකයන් හා බඳුණු චර්‍රිතත් වැස්සට සමානයි. ඔවුන් සැමදාම පැමිණෙන්නේත් නැහැ, කිසිදා නොපැමිණ සිටින්නේත් නැහැ.. පැමිණි පසු නොගොසින් සිටින්නේත් නැහැ, ගිය පසු නෑවිදින් සිටින්නේත් නැහැ. එය හරියටම මහාචාර්ය සරච්චන්ද්‍රයන් 'මළගිය ඇත්තෝ' පොතේ ලියූ 'නෑවිත් යන්නට බැරිය- නොගොස් එන්නට බැරිය' කතාව වගේ.
කුමන වැඩක නියැලිලා සිටියත් මා වැසි වැටෙනවිට ඒ සියල්ලෙන්ම මොහොතකට අත් මිදෙනවා. වැස්ස දෙස අරමුණක් නැතිව බලාගෙන සිටිනවා. සිතිවිලි වලට අයාලේ යන්නට ඉඩ දෙන බොහෝ වැසි දවස්වලට මට රත්න ශ්‍රී විජේසිංහගේ 'වස්සානේ' කවි පංතියේ කවි සිහියට නගෙනවා.. රෝහණ වීරසිංහගේ 'මුතුකුඩ ඉහළන මල් වරුසාවේ' ගීතය සිතින් මුමුණවා. අතනින් මෙතනින් අහුලා ගත් පුංචි කවි වල පේළි, වැසි සුළඟට ගසා ගෙන ගිය ඇතැම් වචනවල ශේෂ වූ මතකයන් සිහියට එනවා. එබඳු දේ සිතට නැගෙන විට මා කුමක් කරන්නද? සිතට කැමති විදියට වැස්සේ තෙත බරිත වන්නට ඉඩදී බලා සිටිනවා හැරෙන්නට මට වෙන කළ හැකි කිසිවක් නැහැ.
අතීතයේ ඉඳහිට දිනෙක මා දුම්වැටියක් පානය කළ කාලයක් තිබුණා. මා බොහෝ විට දුම් වැටියක් දල්වා ගත්තේ වැසි වැටෙන වෙලාවටයි. වැටෙන වැහි පොත අතරට දුම් වළලු ඔහේ මුදා හරින්නට ඒ කාලයේ මා බොහෝ ආසා කළා. වැහි පොද අතරට නික්මෙන දුම් වළලු සැණෙකින් නොපෙනී යනවා. දුම් වළලු නිසා වැහි බිංදුවලටත් පුංචි හෝ උණුසුමක් දැනෙනවා ඇත්දැයි ඒ කාලයේ මා ඉඳහිට කල්පනා කළ බව මතකයි. කිසිදා නො එන්නට සැඟ වී යන්නට පෙරතුව එම දුම් වළලු නාදුනන ළයක් ඇතුළතින් ගෙන එන උණුසුම වැහි බිංදු වලට භාර දෙනවා වෙන්නටත් ඇති.. ජීවිතයේ සම්බන්ධකම් වල හැටි එහෙමයි.
රත්න ශ්‍රී මෙයට කාලෙකට ඉහත ලියූ 'සල් ගහ යට' කවි පොතේ තිබූ "ගුරොෆ් ගේ ලියුම" නම් කවිය අවසන් වන්නේ මෙහෙමයි.
"හෙට උදෑසන වැටෙන
පළමුවැනි හිම කැටය
වෙන් කර තබාවී ඔබ මට
දැන දැනම
කවදාවත්ම නොලැබෙන බව
ඇනා සර්ගයෙව්නා.."
රත්න ශ්‍රී ඒ කවිය ලිව්වේ ඇන්ටන් චෙකොෆ්ගේ 'බල්ලා කැටුව යන කාන්තාව' කෙටිකතාවේ සිටින ගුරොෆ් හා ඇනා සර්ගයෙව්නා ගැනයි. ගුරොෆ් එන්නට කලින් ඇනා සර්ගයෙව්නා අත රැදුණු හිම කැට දියවී යන බව ඇත්තයි. ඒ බව දැන දැනම ඇය හැම උදෑසනකම හිම කැට එකතු කරනවා ඇති. ගුරොෆ් වෙනුවෙන් ඇනා සර්ගයෙව්නා හිම කැට වෙන් කරන පරිද්දෙන්ම ජීවිතයට ආ ගිය අය වෙනුවෙන් පුංචි වැහි බිංදු වෙන් කර තබන්නට අපට බැරිද? ඇතැම් විට ඔවුන් කිසි දිනෙක අප එලෙස වැහි බිංදු එකතු කරන බව නොදැන සිටීවි. ඒත් කමක් නැහැ. ඔවුන් වෙනුවෙන් ඔවුන්ටත් හොරෙන් අප ළඟ වැහි බිංදු එකතු වී තියේවි. එය කෙතරම් ලස්සනද?
වැසි සමය මෙතරම් සුන්දර වැස්ස සමග හෘදය සංවාදයක යෙදෙන්නට කිසිදු මිනිසෙකුට කිසිදු බාධාවක් නැති නිසයි. වැහි බිඳු වල අයිතිය කාටද, වැහි බිඳු වෙන් කරන්නේ කාගේ නමටදැයි ප්‍රශ්න කරන්නට කිසිවෙකුටත් නොහැකි නියයි. වැසි සමය පැමිණියත් කෙදිනක හෝ නැවත එය ආපිට යන බව දන්නා නිසයි. එසේම, ඒ ආපිට යාම සදාකාලික නොවන බවත්, යළිත් කවදා හෝ දිනක කුමන හෝ වේශයකින් වැසි සමය නැවත පැමිණෙන බව අපේ සිත් අපටම කොඳුරන නිසයි.
* * *
( රසික ජයකොඩි 08.09.2013 )
Comments
Post a Comment