ඉකුත් වසර හය හතක කාලය පුරාම මා මෙම තීරු ලිපියෙන් ලියා ඇත්තේ අන් කිසිවක් ගැන නොව මගේ ජීවිතය ගැනයි. එහෙත් මෙය කියැවූ ඇතැමෙකු මගේ ජීවිතයේ අහුමුළු වලින් තමන්ගේ ජීවිතය පිළිඹිබු වන තැන් සොයා ගත් බව මට දන්වා එවා තිබුණා. එය මහා අසාමාන්‍ය සංසිද්ධියක් නොවෙයි. ගීතයක්, කවියක්, චිත්‍රපටයක් ඇතුළු කොයි කවර කලා මාධ්‍යයක් රසාස්වාදනය කළත් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අහුමුළු ඒ තුළ සොයා ගත හැකියි. මා පුද්ගලිකව සිතන හැටියට තමන්ගේ ජීවිතයේ පිළිඹිබුව කලා කෘතියක් තුළ පෙනෙන විට කෙනෙකුට ඉතාම හෘදයාංගමව එය රස විඳින්නට පුළුවන්. සරච්චන්ද්‍රයන් කියනවාක් මෙන් ජීවිතය යනු අතනින් මෙතැනින් රටා එල්ලෙන වියා නිම කොට නැති පැදුරක්.
ප්ලේටෝනික ආදරය ගැන මෙයට වසර තුන හතරකට පෙර මා මෙම තීරු ලිපියේ ලියා ඇති බව මතකයි. ප්ලේටෝනික ආදරය ගැන ඔතරම් ලියන්නේ ඇයිදැයි ඒ කාලයේ සමහරුන් මගෙන් විමසුවා. මා ඔවුන්ට දුන් පිළිතුරු මොනවාදැයි දැන් මට මතක් වෙන්නේ නැහැ. එහෙත් සත්‍යය නම් එය එකල මගේ ජීවිතයේ පැවති ප්‍රේමයක් නිසා ලියූවක් බවයි. 'ප්ලේටෝනික ආදරය' නමැති වචනය ප්ලේටෝගේ 'සිම්පෝසියම්' හි ආදරය ගැන ප්‍රකාශ වන ඇතැම් දේ නිසා උපන් එකක්. එම නිර්වචනය තුළ 'රාගික ආදරය' සහ 'විරාගික ආදරය' යනුවෙන් දෙකොටසකට ආදරය බෙදා වෙන් කරනවා. විරාගික ආදරය යනු කෙනෙකු උද්දීපනය කොට දේවත්වයට සමීප කරලිය හැකි දෙයක් බවත් එහි පැවසෙනවා
එහෙත් අද මා විශ්වාස කරන අන්දමට ආදරය යනු බෙදා ඉරි ගසා කොටස් වලට වෙන් කොට විශ්ලේෂණය කළ හැකි දෙයක් නෙවෙයි. ආදරය ආරම්භ වන්නේ කොතනද එතනදී 'විශ්ලේශණය' හා 'නිර්වචන' අවසන් වනවා. රමණීය හැඟීම් සමුදායක් පමණක් ඉතිරි වෙනවා. එම හැඟීම් සමුදාය තුළ ආමිස බව මෙන්ම නිරාමිස බවද තිබිය හැකියි. එහෙත් එම ආමිස හා නිරාමිස බව වෙන් කරගන්නට වෙහෙසීම අරුත් විරහිත දෙයක් යැයි මට සිතෙනවා. ආදරය විසින් හදවත මෙහෙයවෙන විට තර්කනයට ඇති ඉඩ කඩ ඇහිරී යනවා. එය එසේ විය යුතුයි!
ආදරය තුළ මෙත්තාව, කරුණාව, මුදිතාව මෙන්ම උපේෂාව ද මුණ ගැසෙනවා. ස්වාර්ථය අභිබවා පරාර්ථය ලියලා වැඩෙනවා. මිනිස් සිතක් එතරම් ලස්සනට දිස් වෙන තවත් මොහොතක් ඇද්දැයි මා දන්නේ නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ එක් තැනෙක මෛත්‍රිය ගැන කියැවෙන දෙයක් ආදරයටත් බෙහෙවින් අදාළ යැයි මට සිතෙනවා. මවක සිය එකම දරුවා සුරකින අන්දමටම මිහිමත වසන සියලුම සත්තවයන් වෙත අසීමිතව මෛත්‍රිය පතුරවන්නැයි කරණීය මෙත්ත සූත්‍රයේ තැනක කියවෙනවා. මෙම සිතිවිල්ලම ආදරයට බද්ධ කළ විට එය කෙතරම් සුන්දරද?
'බෝසත්වරුන්ගේ දේශය' නමැති කාව්‍ය සංග්‍රහයට දේ.වි. ගාල්ලගේ කවියා ලියා තිබූ එක්තරා කවි පෙළක් මේ මොහොතේ මට සිහිපත් වෙනවා. "බැඳීමක්" නම් වූ එම කවි පෙළ මේ මාතෘකාවට බෙහෙවින් සමීපයි.
"මේ සසර බැඳුමෙකැයි කව් ලකර නොම යොදමි
අහඹුවක් වූ හමුව සිත් සසළ කළ සෙයක!
ඔහු නොදුටු, ඇය නොදුටු ඔබගෙ මගෙ ඇතුළු හද
රාගයෙන් තොර නෙතින් එකිනෙකා දුටු සෙයක
රමණයේ යහන මත ඔහු ඔබට ඇය මෙමට
ඉත සිතින් සදන මුත් ගත පුරා අමොද සුව
ඇතුළු හද නිරාමිස සතුටකින් නිවනුයේ
අප දෙදෙන ජීවිතය ගැන දොඩන බස් නොවෙද?
කයෙන් බැඳෙනා පැතුම ඉටු නොවූ සෝ දුකින
වැළපෙනා සුවහසක් ගැහැනු - පිරිමින් අතර
ඒව - ආදම් නොවී බැඳුණු අප දෙදෙන ගැන
උදම් විය යුත්තෙ අපටත් වඩා ලොව නොවෙද?
ආදරය දිනු වස්තු අයිතියට ගනු රිසින්
ලොවක් වුව වනසන්න හුරුව සිටිනා ලොවේ
ආදරය යනු අයිති කර ගැනුම නොවන බව
අප බැඳුම නිවැරදිව කියා දෙනු ඇත දනට
කිසිදු කය පහසකින් නොකිළිටිවු මේ බැඳුම
රැකිය යුතු එලෙසින්ම තෙක්ම අවසන් හුස්ම
එකකු මියගිය දිනක සීතල වු මළ කඳේ
නළල සිඹ සමු ගනිමු විරාගික බව සුරැක"
වසර ගණනකට ඉහත මේ කවිය මුලින්ම කියවූ මොහොතේ මගේ හදවත සසල වූ අයුරු මට අද මෙන් මතකයි. විවාහක ගැහැණියක හා අවිවාහක පිරිමියෙකු, අවිවාහක ගැහැණියක හා විවාහක පිරිමියෙකු හෝ විවාහක ගැහැණියක හා විවාහක පිරිමියෙකු අතර ඇති විය හැකි ප්‍රේමය මහා පාපයක් කොට සළකා බැහැර කරන්නට මගේ සිත මට ඉඩ දෙන්නේ නැහැ. මක් නිසාද යත් එබඳු ප්‍රේමයක් තුළ ලොවට නොපෙනෙන තවත් බොහෝ වර්ණ සහ හැඩතල පැවතිය හැකි නිසා. ඔවුන්ගෙන් පිටස්තර වෙනත් කිසිවෙකුට එම වර්ණ සහ හැඩතල තේරුම් ගන්නට අපහසුයි. මේ ලෝකයේ නිරපේක්ෂ කිසිවක් නොමැති නිසා ප්‍රේමය වුවද සළකා බැලිය යුත්තේ යමෙකුගේ ජීවිතයට සාපෙක්ෂවයි.
ප්ලේටෝනික වුවත් නැතත් ප්‍රේමය ප්‍රේමය ලෙස කෙනෙකුට දකින්නට හැක්කේ ජීවිතයට සාපේක්ෂව ප්‍රේමය දෙස බලන්නට පටන් ගත් දවසටයි. එවිට ලෝකයට අසම්මත යැයි පෙනෙන බොහෝ දේ තුළ ඇති 'සම්මතය' දෙස දයාබරව බලන්නට පුළුවන්කම ලැබෙනවා.
* * *
( රසික ජයකොඩි 19 - 10 - 2013 )
Comments
Post a Comment