අහිකුණ්ඨක දිනපොතෙන්

අහිකුණ්ඨකයන් සහ හොරුන් එක් වරක් ගැවසුණ තැන තවත් වරක් නොගැවසෙන බව සොරන් කීර්කගාඩ් කියන දාර්ශනිකයා කියා තිබෙනවා. ලෝකයේ බිහිවුණු පළමුවැනි සාන්දෘෂ්ටිකවාදී චින්තකයා හැටියට බොහෝ අය තවමත් පිළිගන්නේ කීර්කගාඩ්වයි. 

කීර්කගාඩ් ඉපදුණේ මීට අවුරුදු දෙසීයකට කලින්.. ඔහුගේ කාලයේ සිටි සොරුන් මෙන්ම අහිකුණ්ඨකයිනුත් අදට වඩා වෙනස්.. එහෙත් මේ දෙගොල්ලන්ටම පොදු ඒ ලක්ෂණය තවමත් වෙනස් වී ඇතැයි මා සිතන්නේ නැහැ. 

සොරෙකු වීම සහ අහිකුණ්ඨකයෙකු වීම කියන දෙකෙන් වඩා නම්බුකාර ජීවිතය කුමක්දැයි මා දන්නේ නැහැ.එහෙත් සොරෙකු බිහිවන්නේ 'අයිතිය' කියන සංකල්පයත් සමගයි. අනෙකෙකුට අයිති දෙයක් තමන් සන්තකයට ගන්නා සොරා එලෙස අයිති කරගත් දෙය අහිමි වනු ඇතැයි බියෙන් පළා යනවා. ඔහු තමන් මුලින් ගැවසුණු තැනට නො එන්නේ 'අයිතිය' අහිමි වනු ඇතැයි කියන බිය නිසයි. 

අහිකුණ්ඨකයාගේ ජීවිතයේ ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. ඔහුට කිසිවක් අයිති නැහැ. කිසිවක් අයිති කරගන්නට උත්සාහ කරන්නේත් නැහැ. ඔහු එක් තැනක නොරැඳී පළා යන්නේ පළා යාම නිසා තමන්ට අහිමි වන්නට දෙයක් නැති බව දන්නා නිසයි. නැවත පැමිණියත් ලබා ගන්නට දෙයක් ඉතිරිව නැති නිසා ඔහු වරක් ගැවසුණු තැනට නැවත එන්නේ නැහැ. 

කොහොම කළත් අවසානයේ උත්තරය එකයි..

ජීවිතයේ මා හතරෙන් තුනක් සොරෙකු ලෙසත්, හතරෙන් එකක් අහිකුණ්ඨකයෙකු ලෙසත් ගෙවා දමා තිබෙනවා. මෙතැනෙන් ඔබ්බට කොතෙක් කළත් ජීවත් වුණත් මේ අහිකුණ්ඨක යථාර්ථයෙන් මිදිය හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සොරෙකු සේ සිතූ කාලයේ එක් රැස් කරගත් සියල්ල අහිකුණ්ඨක ජීවිතයේදී අතුරුදන්ව යනවා. ඇතැම් දේ වියළි තුරුපත් සේ ගිලිහී වැටෙද්දී තවත් දේ කාලයත් සමග ජීවිතය තුළටම ජීර්ණය වී නොපෙනී යනවා. එහෙත් එම අහිමි වීම් දුකක් බවට පෙරළෙන්නේවත් සතුටක් බවට පෙරළෙන්නේවත් නැහැ.

කොළඹ නගරයේ නොයෙක් වීදිවලදී, මරදානේ ට්‍රිච්බෝන් පටුමගේදී, නුගේගොඩ මංසංධියේදී, රොස්මිඩ් පෙදෙසේදී, නුවර වැව රවුමේදී මෙන්ම ගාලු කොටු පවුර මතදීද කාලයක් තිස්සේ එකතු කරගත් බොහෝ දේ අහිකුණ්ඨක යථාර්ථය හමුවේ ගිලිහී ගිහින්.. මතකයේ පැස බෙහෙවින්ම සැහැල්ලුයි. ආපසු හැරී බලන විට ඒ සියල්ල මට පෙනෙන්නේ මිනිස් සෙවණැලි වලින් තොරවූ සුන්දර මිටියාවතක් ලෙසයි. එය හරියටම කලාගාරයක නිශ්චලව භූමි දර්ශන චිත්‍රයක් බලනවා වැනි හැඟීමක්.

එම භූමි දර්ශන චිත්‍රයේ හැම පින්සල් පහරකටම අර්ථයක් තියෙනවා. හැම රේඛාවක්ම කතාවක් කියනවා. දුටු වර්ණ මෙන්ම නුදුටු වර්ණත් රාශියක් එහි වර්ණ සංයෝජනය තුළ සැඟවිලා තිබෙනවා. එළිය මෙන්ම අඳුරත් කාටත් නොදැනීම පාලනය වී තියෙනවා. එහෙත් චිත්‍රය චිත්‍රයමයි. එය නිශ්චලයි. 

මේ ලියන මොහොතේ මට මතක් වෙන්නේ චාල්ස් බෝඩෙලෙයාර් කවියා ලියූ ' Travelling Bohemians ' කියන කවිය. ඒ කවිය ඔහු අවසන් කරන්නේ මෙහෙම.. 

"ගල්කුළු තුළින් 
උල්පත් පාදමින්
මරු කතර මැදින් 
නව මල් පුබුදමින්
මේ සැරිසරන්නන් අභියස
නිතරම දිගහැරෙනුයේ
'ගුප්ත බව' නම් 
හුරුපුරුදු රජදහනකි..."

තේරුම් නොගෙන සිටීමට උත්සාහ කරන තාක්කල් ගුප්ත බව තරම් ලස්සන තවත් දෙයක් ඇත්ද?


*             *             *

Comments