හැන්දෑවට කලින්


මීට ටික වෙලාවකට කලින් Netflix බලනකොට Before Sunrise චිත්‍රපටය අලුතින් එකතු කරලා තියනවා දැක්කා. මං ජීවිතයේ හුඟක් ම ආසා කරන චිත්‍රපටවලින් එකක්. යුරෝපයේ කෝච්චියක දී අහම්බෙන් හම්බ වෙන කෙල්ලෙකුයි කොල්ලෙකුයි හදිසියේ ම වියෙනාවලින් බැහැලා රැයක් ගෙවෙනකල් ඇවිද ඇවිද කතා කරපු දේවල් ඒ චිත්‍රපටයේ තියෙන්නෙ. ආදරයේ හැඩයක් නැති කම, අහම්බකාරක බව, අහේතුක බව ලස්සනට ම කියැවෙන චිත්‍රපටයක්.

ආදරය නිශ්චිත හැඩයක් නැති අහේතුක අහම්බයක් බව තේරුම් ගන්න මට හුඟ දෙනෙකුට ආදරය කරන්න සිද්ධ වුණා. අතීතයේ මං ලියපු හුඟක් දේවල් ගමනාන්තයක් දන්නෙ නැතුව ගිය ඒ ගමනේ ප්‍රතිඵල. ඒවා පත්තරවල පළ වෙන කොට සමහර මිනිස්සු  ඒවා රස වින්දා. ඒ ලියපු දේවල්වලට විෂය වුණු අය, එහෙමත් නැත්නම් ඒ සමහර නිමිති සපයපු අය ඒවා ගැන මොනව හිතුවද, හිතනවද කියන මට කවදාවත් ඒ තරම් වැදගත් වුණේ නැහැ. මගේ පළවෙනි පොත පළ වුණාට පස්සෙ ඒවා ආපහු කියවනකොට මට හිතුණෙ මගෙ ජීවිතය ඇතුළෙ ම මාව දැන් පිටස්තරයෙක් බවට පත් වෙලා කියලා.
මේ සත්‍යය තේරුම් ගත්තට පස්සෙ මට භාවාතිෂය දේවල් ලියන්න බැරිව ගියා. කොටින් ම ආදරය කරන කෙනෙකුට කවියක්වත් ලියලා දෙන්න මට බැරි වුණා. මෑතක ම මගේ ජීවිතයේ හිටපු කෙනා කියලා තියෙන්නෙ මම ආදරය ඇතුළෙ සහකම්පනයක් නැති, අසංවේදී මනුස්සයෙක් කියලා. කලින් හිටපු ගෑනු ගැන ලස්සන දේවල් පිටු පිරෙන්න ලියලා අඩුම ගානේ එයාට දෙන කාඩ් එකකවත් ලස්සනට වචන ටිකක් ගලපලා ලියලා දෙන්න බැරි එක ගැන එයා විහිළු කළාට ඒක විහිළුවක් ම නොවන බව මං දැනගෙන හිටියා.
මං හුඟක් වෙලාවට එයාට කියපු කතාව තමයි මං ලියන දේවල් සීරියස් ගන්න එපා කියන එක. ඒකෙන් කියන්නෙම මගෙ අතින් ලියැවෙන වචන ඇතුළෙ මාව හොයන්න එපා කියන අදහස. ලියන දේ ලියන කෙනාගෙන් වෙන් කරගත්ත තරමට ලියන කෙනා එක්ක ජීවත් වෙන එක ලේසි වෙනවා. ඒක එක්තරා විදියකට තක්කඩි කතාවක් වුණාට ඒ තක්කඩිකම ඇතුළෙ ජීවත් වෙන එක තරමක් ලේසි වෙයි කියලා මට හිතුණා.
ඒත් සම්බන්ධකමක් ඇතුළෙ පිරිමි හිතන විදියට ම ගෑනු හිතන්නෙ නැති බව මම ප්‍රත්‍යක්ෂ කරගන්න කොට හුඟක් ප්‍රමාද වෙලා. ගෑනුන්ට හුඟක් ම වුවමනා 'ලොකු චිත්‍රයට' වඩා පුංචි පුංචි දේවල්. සම්බන්ධතාවක් ඇතුළෙ තමන් ආසා කරන පුංචි පුංචි දේවල් මුතු පේළියක් වගේ අමුණලා ගෑනු හුඟක් සතුටු වෙනවා. උපන් දිනයට දෙන ලස්සන තෑග්ගක්, නොහිතන වෙලාවක දෙන මල් කළබක් වගේ ම ඩේට් නයිට් එකකට ගිහින් කාලා බීලා නටන එකත් ගැහැනියකට ඒ 'මුතු පේළියේ' ලස්සනට අමුණන්න පුළුවන්.
මගෙ පොත ලියලා අච්චු ගැහුවට පස්සෙ ප්‍රෙස් එකෙන් මට කොපි පහක් විතර හම්බ වුණා. ඒ අතරිනුත් මං මුලින් ම අතට ගත්ත කොපිය අරගෙන එයාගෙ Apartment එකට ගිහින් ඒක එයාට තෑගි දුන්නා. ඒ පොතේ පළවෙනි පිටුවේ මම ඉංග්‍රීසියෙන් ලියපු වචන පේළියෙ අදහස වුණේ "මුල් ම පොත, ආදරයත් සමග" කියලා විතරයි. මම හිතුවා ඒක දැක්කම එයාට සතුටු හිතෙයි කියලා.
Before Sunrise චිත්‍රපටය කියන්නෙ එකිනෙකට සම්බන්ධිත චිත්‍රපට තුනක පළමුවෙනි එක. ඒකේ ඊළඟ චිත්‍රපටය  Before Sunset පළවෙනි චිත්‍රපටයෙන් අවුරුදු 9කට පස්සෙ එළියට ආවා. තවත් අවුරුදු නවයකින් ඒකේ තුන් වෙනි කොටස Before Midnight පිට වුණා. දෙවැනියට ආපු Before Sunset චිත්‍රපටයේ තියෙන්නේ එදා වියෙනාවල ඇවිදපු කෙල්ලයි කොල්ලයි අවුරුදු ගාණකට පස්සේ පැරිස්වලදී ආපහු අහම්බෙන් හමු වෙන හැටි. එදා වියෙනාවල වගේ ම මෙදා පැරිස්වලත් ඔවුන් එකට ඇවිදිනවා. එදා සවසම ඔහුට ආපහු ඇමෙරිකාවට යන්න තිබුණත් පැරිස් නගරයේ තියන ඇයගේ Apartment එකට එන ඔහු හිතමතා ම ෆ්ලයිට් එක මිස් කරගන්නවා.
කොච්චර ආස වුණත් මට ආයෙත් Before Sunrise බලන්න බැහැ.
16 - 05 -2020

Comments