ලංකාවේ පත්තර මාසයකට ආසන්න කාලයක් මුද්‍රණය වුණේ නැහැ. ඒත් දැන් ආපහු සමහර පුවත්පත් ආපහු මුද්‍රණය වෙන්න පටන් අරන්. පත්තර වෙළෙඳපොළට නො ආ කාලයේ කාටවත් ඒක ලොකු අඩුවක් ලෙස දැනුණේ නැහැ. නැවත පත්තර වෙළෙඳපොළට එනකොටත් කාටවත් ඒක ලොකුවට දැනිලා තිබ්බෙ නෑ. පුවත්පත් මාධ්‍යය ටිකෙන් ටික මිනිසුන්ගේ ජීවිතයෙන් දුරස්වන බවට හොඳ ම සළකුණක් ඒක. හැම දේකට ම ස්වාභාවික ආයු කාලයක් තියෙනවා.
පුවත්පත් සම්බන්ධයෙන් මට තිබෙන්නේ රොමෑන්තික මතකයක්. මං වෘත්තීය ජීවිතය පටන් ගත්තේ පුවත්පත් මාධ්‍යයත් එක්ක. ඒ වන විට රූපවාහිනිය සහ ගුවන් විදුලිය පුවත්පත්වලට වඩා ශක්තිමත්ව තිබුණත් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ගොඩනැගුණු information overload එකක් සමාජයේ තිබුණෙ නෑ. මම වැඩ කරපු කාලයේ රිවිර ඉරිදා පුවත්පතේ පිටපත් ලක්ෂයකට වඩා මුද්‍රණය වූ බව මට මතකයි. මිනිස්සු පත්තර එනකල් බලාගෙන හිටියා. ඒවායේ පළ වන ලිපි ගැන සමාජයේ යම් කතාබහක් ගොඩනැගුණා. පත්තරකාරයන්ගේ නම් මිනිස්සුන් ගේ මතකයේ තිබුණා. පත්තරවල ලියපු අයට පාඨකයන්ගෙන් ලියුම් ආවා.
පුවත්පතක ජීවිතය වෙහෙසකරයි. කුඩා කාලයේ විප්ලවීය සාහිත්‍යයෙන් මත් වෙලා ජූලියස් ෆුචික් ලා ඩොනල්ඩ් වුඩ්ස් ලා ගැන කියවලා මාධ්‍යවේදියෙක් වෙන්න සිහින දැකපු මම හිතුවේ පත්තර කාර්‍යාලවල ඇත්තට ම මට එහෙම මිනිසුන් හමුවෙයි කියලා. ඒත් ටික කාලයක් වැඩකරන කොට මට තේරුණු එක සත්‍යයක් වුණේ ජනමාධ්‍ය ආයතන කියන්නෙත් සමාජයේ ම හරස්කඩක් පමණක් බවයි. ඒවායේ හිටියෙත් පීඩිත මිනිසුන්. දරු පවුල පෝෂණය කිරීම වෙනුවෙන් රස්සාවේ වැටුප් වැඩිවීමක්, තනතුරක් ගන්න කරන්න පුළුවන් හැම දෙයක් ම කරන මිනිසුන්. ජීවිතයේ විරාමයක්, සැනසුමක් නැතුව දාහක් ප්‍රශ්නවලින් තැලී, පොඩි වී මිරිකෙන එහෙම මිනිසුන් පොදු අරමුණු වෙනුවෙන් කැපකිරීම් කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ යැයි පසුව සිතුණා.
කොහොම වුණත් මාධ්‍යවල සිටි කාලයේ මගේ අතින් කවි ලියැවුණා. කෙනෙකු කවියක් ලියන්නට නම් කිසියම් ජීවිත අත්දැකීමකින් කම්පනය විය යුතුයි. එහෙම කම්පනය වෙන්න නම් ඒ අත්දැකීම් එක්ක අනුනාද වෙන්න හදවත සුසර කොට තිබිය යුතුයි. අද මගේ අතින් එහෙම දේවල් නොලියවෙන්නට හේතුව ජීවිතයට ගලා යන අතට ගලා යන්න ඉඩ දී එදෙස නිසලව බලා ඉන්නට හුරු වී සිටීම. එවිට කිසිම දෙයක් නිසා ලොකු දුකක්වත් ලොකු සතුටක්වත් දැනෙන්නේ නැහැ. එහෙම ජීවත් වීම ලේසියි - ලෙහෙසි තරමට ම අමාරුයි.
ඒ කාලයේ ලියපු කවියක් මට අද ආයිත් මතක් වුණා. මේ කවිය පුංචි සටහනකුත් එක්ක මගේ 'දවසක් දා හැන්දෑවක' පොතට එකතු කරන්න හිටියත් මම පස්සේ ඒ අදහස වෙනස් කරගත්තා. ඒ කාලයේ මගේ තීරු ලිපියක කොටසක් ලෙස මේ කවිය පළ වුණා.. මාතෘකාවක් නැති මේ කවිය ලිව්වෙ මහ රෑක බව තවමත් මගේ මතකයේ තිබෙනවා.
"අඳුරු සෙවණැලි පැමිණ ඇරුණු දොර වසන විට
අකුරු කඩදහි සමග ගිනිවැදුණු දිනෙක අග
අහඹු ලෙස දිගහැරුණු පොතක මුල් පිටුව මත
කුරුටු ගා තිබුණු නුඹ නමෙහි මුලකුරු පෙනිණ
අකුරු කඩදහි සමග ගිනිවැදුණු දිනෙක අග
අහඹු ලෙස දිගහැරුණු පොතක මුල් පිටුව මත
කුරුටු ගා තිබුණු නුඹ නමෙහි මුලකුරු පෙනිණ
සිසිර සුළඟට සැලෙන ළපටි පෙති බිම වැටෙන
නොතිර මල් කැකුළකැයි කෙලෙස අමතමි නුඹට..?
කතර මග මෙ'දුර විත් ගිමන් හරිනා රැයක
අඳුර මෙන් නුඹ ද එබිකම් කරයි මගෙ සිතට
නොතිර මල් කැකුළකැයි කෙලෙස අමතමි නුඹට..?
කතර මග මෙ'දුර විත් ගිමන් හරිනා රැයක
අඳුර මෙන් නුඹ ද එබිකම් කරයි මගෙ සිතට
කොහේ සිට කොතැනකට යන්නෙදැයි නොම දැනම
ඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස
ඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස
සිනා සෝ සුසුම් මැද සිතුම් නැවතුම් සොයන
සදාදර ඇසිල්ලක සිහිනයකි - ඒ නුඹ ය
විඩාබර නෙත්වලින් සිතිජයට පා තියන
සැඳෑවක් සදිසි බව දනිමි දැන් ජීවිතය"
සදාදර ඇසිල්ලක සිහිනයකි - ඒ නුඹ ය
විඩාබර නෙත්වලින් සිතිජයට පා තියන
සැඳෑවක් සදිසි බව දනිමි දැන් ජීවිතය"
- රසික ජයකොඩි
25 -04-2020
25 -04-2020
Comments
Post a Comment