අපි හැමෝගෙම හිතේ
කොහෙ හරි අහුමුල්ලක ඒ නිශ්චිත මොහොතේ අපිට ආදරය දැනෙන විදිය එක්ක බැඳුණු අපිටම
විතරක් අයිති තනුවක් තියනවා.
සිංදු ටිකක්
දාගෙන වාහනේක දුර ගමනක් යනකොට හරි මහ රෑක තනියම කලින් හිතාගත්ත අනුපිළිවෙලකට නැතිව
හිතට එන සිංදුවක් ඉන්ටනෙට් එකේ අහනකොට අපෙ හිතේ තියන ඒ තනුව එක්ක පෑහෙන සිංදුවක්
අපි නොදැනුවත්ව ම හොයනවා.
අහම්බෙන් හරි
එහෙම ගැළපීමක් වෙන වෙලාවට ඒ සිංදුව විසි තිස් පාරක් හරි එක දිගට අහන්න පුළුවන්.
මගේ හිතේ මේ
මොහොතේ තියෙන්නේ සංසිඳීම සහ ශෝකය අතර ඉතාමත් සියුම්ව දෝලනය වෙන තනුවක්. ස්වර අතර
තැනින් තැන නිහැඬියාව අතුරා තිබෙනවා. සිහින් බටනලා නාදයක් විටින් විට ඇසෙනවා.
ගිටාරයක ස්වර තන්තු සිහින්ව ස්පර්ශ වෙනවා.
මේ තනුවේ තියෙන
ශෝකී ස්වරය තවදුරටත් වෙන්වීම හෝ වියෝගය එක්ක බැඳුණු දෙයක් නෙවෙයි.
ආදරය මතුපිට
රැළිති නගන හුඟක් හැඟීම් පහු කරගෙන ගැඹුරට ගියාට පස්සේ තියෙන්නේ කිසිම හැලහොල්මනක්
නැති හුදෙකලාවක් - නතර වෙන තැනක් නොපෙනෙන ගැඹුරක් - ආපහු එන්න නොහිතෙන තරමේ
සංසිඳීමක් - සියුම් ශෝකයක් තැවරුණු නිවීමක්.
ඉඳහිට දවසක මේ
හැඟීම දැනෙන වෙලාවට මං අහන සිංදු දෙකක් තියෙනවා.
එකක් ලතා
මංගේෂ්කාර් ගේ "Lag Ja Gale" - අනෙක වික්ටර් රත්නායක ගේ "තොටුපල අයිනේ".
හමුවීමට හෝ වෙන්වීමට වඩා මං හැමදාම ආස වුණේ හමුවෙනවද, වෙන්වෙනවද කියලා දන්නේ නැතුව ජීවත් වෙන එකට.
- රසික ජයකොඩි -
12-04-2021
Comments
Post a Comment