මෙයට ටික කලකට පෙර 'හෙමිංවේ ඇන්ඩ් ගෙල්හෝර්න්' චිත්‍රපටය නැරඹූ මොහොතේ මට ඒ චිත්‍රපටය ගැනත් හෙමිංවේ ගැනත් යමක් ලිව යුතු යැයි සිතුණා. එහෙත් එය ලියැවුණේ නැහැ.
අද අලස කමින් සිටින අතරතුර ඔහුගේ 'The Sun Also Rises' පොත යළිත් කියවන්නට අතට ගත් වෙලාවේ මට පෙර කී චිත්‍රපටය විටින් විට මනසේ මැවෙන්නට පටන් ගත්තා. චිත්‍රපටයේ සෑම රූපරාමුවකමත්, සෑම අංශු මාත්රයකමත් සිටින්නේ හෙමිංග්වේයි. ඔහුගේ පෞරුෂත්වයයි. ඔහුගේ අවිනිශ්චිත බවයි.
චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ හෙමිංවේ සහ මාර්තා ගෙල්හෝන් නමැති යුධ වාර්තාකාරිණිය අතර ඇති වන අසාර්ථක විවාහය මතයි. ඔවුන් අතර ලියලන ප්‍රේමය මෙන්ම වෛරයද එක සේ තීව්රයි. එමෙන්ම බලගතුයි. කොහොමටත් ලේඛකයන් යනු බෙහෙවින් තීව්ර සංවේදනා ඇති මිනිසුන් නිසා එය ඒ තරම් පුදුමයකුත් නොවෙයි.
එහෙත් හෙමිංවේ යනු හුදෙක්ම නවකථාකාරයෙකු හෝ ලේඛකයෙකු පමණක් නොවෙයි. ඔහු පත්තරකාරයෙක්. විටෙක දඩයක්කාරයෙක්. භයානක අත්දැකීම් සොයා ගොසින් ඒවා වැළඳගන්නෙක්. ජීවිතය සෙල්ලමකට ගත් තැනැත්තෙක්. විටෙක දෙවියෙක්..විටෙක යක්ෂයෙක්..
හෙමිංවේගේ නවකතාවල සිටින්නේ නාහෙට නාහන ශක්තිමත් මිනිසුන්. සහමුලින්ම විනාශ වී ගියත් පරාජය භාරගන්නේ නැති මුරණ්ඩු, දඩබ්බර මිනිසුන්. ජීවිතයේ ගෙවෙන නිමේෂයක් තුළ පමණක් ජීවත් වෙන මිනිසුන්. අතීතය ගැන හඬා වැටෙන්නේ නැති සහ අනාගතය ගැන වුවමනාවට වඩා හිතන්නේ නැති මිනිසුන්.
මේ චිත්‍රපටය ඇතුළත හෙමිංවේගේ චරිතයේ එක්තරා හරස්කඩක් මැනවින් නිරූපණය වෙනවා. ඔහු ගැහැණුන් ඇසුරේ නොව පිරිමින් සමග ඔට්ටුවෙමින් කාලය ගෙවන්නට කැමතිව සිටි අයෙක්. ඔහුට සටන් කළ හැකි වුණේත්, තරග කළ හැකි වුණේත්, දබර කළ හැකි වුණේත්, විනෝද විය හැකි වුණේත් මිනිසුන් සමගයි. ඔහුගේ ලෝකය තුළ විවාහ ජීවිතය යනු ද්විතියික කාරණයක්. එහෙත් ඔහු බෙහෙවින් රොමෑන්තික මිනිසෙක්.
මාර්තා ගෙල්හෝර්න් යනු ශක්තිමත් පෞරුෂයක් තිබුණු ගැහැණියක්. ඔවුන්ගේ විවාහ ජීවිතය කෙළවර වන්නේ එම පෞරුෂත්ව ඝට්ඨනය නිසා. එහෙත් ඔවුන් එක්ව ගත කළ කාලය බෙහෙවින් සුන්දරයි. ප්‍රේමණීයයි.
චිත්‍රපටයේ අවසන් දර්ශනයේදී මහළු වියේ සිටින ගෙල්හෝර්න්ගෙන් මාධ්‍යවේදියෙක් හෙමිංග්වේ ගැන විමසනවා. ඇය දෙන උත්තරය මෙයයි.
" මීට අවුරුදු තිහකට කලින් ඔහු මිය ගියා.. ඔහු තමන්ට තරම් වෙනත් කිසිම කෙනෙකුට වද දුන්නේ නැහැ. මා ඔහුට සමාදානය පතනවා. එපමණයි..."
"හෙමිංවේ ඇන්ඩ් ගෙල්හෝර්න්" චිත්‍රපටය නරඹා ටික දවසකින් මම එතෙක් පූර්ණකාලීනව නියැලී සිටි ප්රචාරක ක්ෂේත්රයේ රැකියාවෙන් සමුගත්තා.
නැවතත් මට හුරුපුරුදු පුවත්පත් කලාවට පිවිසුණා.
* * *
( රසික ජයකොඩි 08-12-2013 )
Comments
Post a Comment